Saturday, January 30, 2021

කඳු තරණයට පෙර සූදානම



අවධානම ට පෙර සූදානම" - පළමු කොටස

සුබ දවසක් හැම දෙනාටම!!!

අපි අද කත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන.

නමුත් මේ මාතෘකාව පිළිබඳව සමාජයේ වැඩි කතා බහක් සිදු වෙන්නේ නෑ වගේම, බොහොමයක් කඳු නඟින්නන් මේ පිළිබඳව දක්වන්නේ ඉතාමත් අඩු අවධානයක්. නමුත් ලිපිය කියවාගෙන යනකොට ඔබට මේ මාතෘකාවේ බරපතල කම පිළිබඳව හොඳ අවබෝධයක් ලැබේවි. ඒ වගේම ඔබත් කාලයක් පුරාවට කඳු නැඟීම හා සම්බන්ධව සිටි කෙනෙක් නම් සමහරවිට ඔබට හිතේවී, මෙපමණ කලක් කිසිම අකරතැබ්බයක් ඇති නොවුණේ කොහොමද කියලා.

එහෙනම් මේ ඔබේ දැනුමට යමක් එකතු කර ගන්න මොහොතක්. අමතක කරන්න එපා, ඔබ, අපි හැමෝම, හැම මොහොතක දීම, අලුතින් යමක් ඉගෙන ගනිමින් ඉන්නවා.

දියුණුවේ මඟ එයයි.

ඔබට මතක ද 127 Hours කියන චිත්‍රපටය.

Theatrical release poster - Wikipedia

පළපුරුදු කඳු නඟින්නෙක් කිසිම කෙනෙක්ට ඔහු යන ඉසව්වක් පිළිබඳව දැනුවත් කිරීමකින් තොරව, නිසි ප්‍රමිතියෙන් තොර උපකරණ සහිතව දිනක් පිටත් වෙනවා ත්‍රාසය සොයාගෙන. නමුත් මඟක දී අවාසනාවන් ත ලෙස අනතුරකට මුහුණ දෙන ඔහු දින ගණනක් දුක් විඳිමින් අවසානයේ දී විශ්මයජනක් ලෙස ජීවිතය ගළවා ගන්නට සමත් වෙනවා. නමුත් ඔහුට ඔහුගේ නිසි සූදානම් නොමැතිවීම නිසා, අතකින් වන්දි  ගෙවන්නට සිද්ධ වෙනවා.

සමහරවිට ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්, මේ කතාව සිනමාවට නැඟී තියෙන්නේ සත්‍යය කතාවක් පසුබිම් කරගෙනයි.

Aron Ralston in the mountains in 2009 - Wikipedia

හොඳයි, අපි අපේ ප්‍රධාන ලිපියට යොමු වීමට පෙර බොහොම සරල ප්‍රශ්න කිහිපයකට උත්තර දීලා බලමු. ඕනෑම දෙයකට අලුතෙන් ම යොමු වීමට පෙරාතුව පළමුවෙන් ම අප කළ යුතු දෙය තමයි, මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් අපට ඇති දැනුම හා අවබෝධය.

ඒ සඳහා ඔබ සපයන අවංක තොරතුරු මඟින් ඔබට ම තීරණය කරන්න පුළුවන්, කඳු තරණයක දී ආරක්ෂාව හා පෙර සූදානම කියන කාරණාවල දී ඔබ මේ මොහොතේ කොතන ද ඉන්නේ කියලා. ඒ මඟින් ඔබට ස්වය්‍යං අධ්‍යයනයක් කිරීමෙන් තව දුරටත් වැඩි දියුණු විය යුතු දේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.

 

Backpacking Blunders - Cleverhiker

 කඳු තරණයක දී ඔබ කොතරම් ආරක්ෂාකාරී ද?

සෑම පැනයකට ම ඔබට වැඩියෙන් ම සුදුසු පිළිතුර තෝරන්න. ඒ පිළිතුරු සඳහා ඔබගේ තේරීමට ලබා දිය හැකි ලකුණු මේ අභ්‍යාසයට පහළින් තියෙනවා.

 

1.      ඔබගේ කඳු තරණය පිළිබඳව ඊට පෙර පුරුද්දක් විදියට ඔබගේ හිතවතෙකු දැනුවත් කරනවා ද?

                   I.            එසේ කිරීමේ ප්‍රයෝජනක් දකින්නේ නැත.

                II.            කවදාවත් නැත.

             III.            ඇතැම් දිනෙක සමහර අවස්ථාවල දී පමණක්

             IV.            හැම කඳු තරණයකට ම පෙර අනිවාර්‍යයෙන් ම

 

Backpack hydration bladders are a convenient alternative to water bottles.


2.      පිපාසය සංසිඳුවීමට හා විජලනයෙන් වැළකී සිටීමට සුදුසු ම ක්‍රමය වන්නේ

                   I.            වරින් වර කුඩා උගුරු ලෙසින් කඳු තරණයට පෙර, අතරතුර හා පසුව ජලය පානය කිරීම

                II.            පිපාසය දැනුණ විට ජලය පානය කිරීමෙන් ජලය අරපිරිමසා ගැනීම

             III.            සීතල පැණි බීම වර්ගයක් පානය කිරීම

             IV.            අතර මඟදී හමුවන ජල මූලාශ්‍ර වලින් ජලය පානය කිරීම

 

3.      ඇඳිරි වැටීමට තව ඇත්තේ පැය කිහිපයයි. ඔබ සතුව රාත්‍රිය වනාන්තරය තුළ ගත කිරීම සඳහා සුදුසු හා අත්‍යාවශ්‍යය උපකරණ හා ආම්පන්න නැත. ඔබේ කන්ඩායමේ සාමාජිකයෙකු ට සිඳු වූ සුළු අනතුරක් හේතුවෙන් වේගයෙන් ගමන් කළ නොහැක. ඔබ ගන්නේ කුමන තීරණය ද?

 

Successful Night Hiking - Mountaintrails

                   I.            මේ ගමන ගොඩක් කල් ඉඳන් සැළසුම් කළා කවුරුවත් අතර මඟ දාලා යන්නෙ නෑ. ආව ඔක්කොම කන්ද නැඟල තමයි ආපහු හැරෙන්නේ. එන විදියකට මුහුණ දෙමු..

                II.            කන්ද නැඟලා කරන්න ආසයි. නමුත් අද අපේ සූදානම මදි. ආයෙමත් එනවා හරි සූදානමින්.

             III.            ආබාධයට ලක් වූ සාමාජිකයා අතර මඟ තැනක් නවත්වා ඉක්මනින් කන්ද නැඟ ඉවර කිරීමට පිටත් වීම

             IV.            කණ්ඩායමේ අපහසුතා වලින් පෙළෙන සාමාජිකයාව වෙත ප්‍රථමාධාර ලබා දී, ආරක්ෂිතව ආපසු වනාන්තරයෙන් එළියට යැවීමට ඒ සඳහා සුදුසු පුහුණුව ඇති සාමාජිකයෙකු වෙත බාර දී නැවත කඳු තරණය ආරම්භ කිරීම.

 

4.      ඔබ හදිසි තත්වයක දී ඒ සඳහා මුහුණ දීමට නිසි පුහුණුවකින් හා සුදුසු ආම්පන්න වලින් සූදානම් ද? උදාහරණ වශෙයෙන් නිසි ප්‍රථමාධාර පුහුණුවක් හා නොනැසී ජීවත් වීමේ ආම්පන්න කට්ටලක් (Survival kit) ඔබ සතුව තිබේ ද?

 

Essential Survival Kit Items - blog.gunassociation.org/survival-kit/


                   I.            ලංකාවේ තියෙන්නේ පුංචි කැළෑ. ඕවා වෙන්නේ චිත්‍ර පටිවල. මෙහේ වෙන්නෙ නෑ.

                II.            මං හිතනවා මම සූදානම් කියලා.

             III.            ඔව්. විය හැකි නරකම දෙයකට වුණත් මුහුණ දෙන්න, මමත් මගෙ කණ්ඩායමත් නිසි පුහුණුවකින් හා උපකරණ වලින් සන්නද්ධයි.

             IV.            මට හොඳ පුහුණුවක් තියෙනවා, අත්දැකීම් තියෙනවා. ඔය අනතුරු වෙන්නේ අලුතෙන් කඳු නඟින්න පටන් ගත්ත අයට.


 සිතියම් හා මාලිමා භාවිතය පිළිබඳ ව ඔබගේ පුහුණුව කෙසේ ද?


 How to survive when you're lost : PennLive


                    I.            මා සතුව මාලිමවක් තිබෙනවා. නමුත් පුහුණුව මදි.

                II.            මගේ ජංගම දුරකථනයේ කළින් බාගත කරන ලද සිතියම් තිබෙනවා.

             III.            මාලිමාව භාවිතය වගේම, ජීපීස් තාක්ෂණය වගේම පරිසරයේ වෙනස්වීම් නිරීක්ෂණයෙන් දිසාව සොයා ගැනීමට මට හොඳ අවබෝධයක් තිබෙනවා.

             IV.            මම යන හැම තැනම යන්නේ, පළපුරුදු මඟ පෙන්වන්නෙක් සමඟ. මේ නිසා මේ වගේ දැනුමක් මට වුවමනා නෑ.

පිළිතුරු හා ලකුණු

1.      ඔබගේ කඳු තරණය පිළිබඳව ඊට පෙර පුරුද්දක් විදියට ඔබගේ හිතවතෙකු දැනුවත් කරනවා ද?

    1. ලකුණු -3
    2. ලකුණු -5
    3. ලකුණු +2
    4. ලකුණු +5

 

2.      පිපාසය සංසිඳුවීමට හා විජලනයෙන් වැළකී සිටීමට සුදුසු ම ක්‍රමය වන්නේ?

    1. ලකුණු +5
    2. ලකුණු +1
    3. ලකුණු -5
    4. ලකුණු +1

 

3.      ඇඳිරි වැටීමට තව ඇත්තේ පැය කිහිපයයි. ඔබ සතුව රාත්‍රිය වනාන්තරය තුළ ගත කිරීම සඳහා සුදුසු හා අත්‍යාවශ්‍යය උපකරණ හා ආම්පන්න නැත. ඔබේ කන්ඩායමේ සාමාජිකයෙකු ට සිඳු වූ සුළු අනතුරක් හේතුවෙන් වේගයෙන් ගමන් කළ නොහැක. ඔබ ගන්නේ කුමන තීරණය ද?

    1. ලකුණු -5
    2. ලකුණු +5
    3. ලකුණු -3
    4. ලකුණු +5

 

4.      ඔබ හදිසි තත්වයක දී ඒ සඳහා මුහුණ දීමට නිසි පුහුණුවකින් හා සුදුසු ආම්පන්න වලින් සූදානම් ද? උදාහරණ වශෙයෙන් නිසි ප්‍රථමාධාර පුහුණුවක් හා නොනැසී ජීවත් වීමේ ආම්පන්න කට්ටලක් (Survival kit) ඔබ සතුව තිබේ ද?

    1. ලකුණු -3
    2. ලකුණු +1
    3. ලකුණු +5
    4. ලකුණු -5

 

5.      සිතියම් හා මාලිමා භාවිතය පිළිබඳ ව ඔබගේ පුහුණුව කෙසේ ද?

    1. ලකුණු -5
    2. ලකුණු +2
    3. ලකුණු +5
    4. ලකුණු +3

 

ඔබ ලබා ගත් ලකුණු එකතුව මත මේ අවස්ථාවේ, මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ දැනුම හා අත්දැකීම සම්බන්ධයෙන් දළ ඇඟයීමක්

 

ලකුණු - 25 සිට - 10 දක්වා :

නිවැරදි පුහුණුව සඳහා ඔබේ කාලය සහ සම්පත් මිඩංගු කරන්න. ඔබ මේ මොහොතේ දී අවබෝධයෙන් සිටිනවාට වඩා කඳු තරණය හා වනාන්තර ආශ්‍රිත ගවේෂණ අනතුරුදායක විය හැක. මේ නිසා ඔබගේ මීළඟ කඳු තරණයට පෙර මේ කරුණු කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න.

ලකුණු - 09 සිට 05 දක්වා :

ඔබට යම්තාක් දුරකට අවබෝධයක් ඔබ මේ වනවිටත් බොහොම ආදරය කරන මේ ක්‍රීඩාව, එහෙමත් නැත්නම් විනෝදාංශය සම්බන්ධයෙන් තිබෙනවා. නමුත් ඔබට තව දුරටත් ව්‍යූහගත පුහුණුවීම් හා පාඨමාලා සමඟ සම්බන්ධවීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. සුදුසු පුහුණුවීම් හා පාඨමාලා හා සම්බන්ධ වන්න.

ලකුණු 06 සිට 15 දක්වා :

ඔබ ඉතාමත් හොඳ දැනුමකින් යුතු ක්‍රීඩකයෙක්. නමුත් තව දුරටත් මේ සම්බන්ධයෙන් පළවී ඇති දේශීය විදේශීය සඟරා හා පොත පත කියවන්න. පාඨමාලා සහ පුහුණුවීම් වල යෙදෙන්න. මතක තබා ගන්න, නිසි දැනුම මෙන්ම, ඒ දැනුම හරියාකාර ව ප්‍රයෝගිකව යෙදීමට නම් නිසි හා නිරන්තර පුහුණුව අත්‍යාවශ්‍යය බව. පුහුණුවකින් තොරව දැනුම, සහතිකයකට පමණක් සීමා වූවක්.

ලකුණු 16 සිට 20 දක්වා :

ඔබ මේ ක්‍රීඩාවට ආදරය කරනවා වගේම, ඒ සම්බන්ධයෙන් හැදෑරීමට හොඳ කාලයක් හා මහන්සියක් දරා තිබෙනවා. අද කාලයට වුවමනා ඔබ මෙන් කරන දෙයක් නිසි ලෙසින් කිරීමට සූදානම් තරුණ පරම්පරාවක්. ඔබේ දැනුම අනෙක් අය හා සමඟ බෙදා ගන්න. ඔබේ දැනුමත් තව දුරටත් දියුණු කර ගන්න.

ලකුණු 21 සිට 25 දක්වා :

සරලව, ඔබ මේ මොහොතේ දී ඔබ කරන ක්‍රීඩාව පිළිබඳව ඉතාමත් හොඳ දැනුමකින් සමන්විතයි. ඒ දැනුම හා බැඳුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව ත් ඉතාමත් හොඳ අත්දැකීමක් හා පුහුණුවක් ඔබට ඇතැයි අප විශ්වාස කරනවා. ඔබ වැනි දැනුමක් තිබෙන ක්‍රීඩකයන් හා සාමාජිකයන් වර්තමානයේ නිරන්තරයෙන් ම සංවිධානය වන කඳු තරණ ක්‍රියාකරකම් වල අනිවාර්‍යෙන්ම සිටිය යුතුයි. ඉගෙනීම හා දැනුම අලුත් කර ගැනීම කිසිදා ඉවර විය යුතු නොවන ක්‍රියාවලියක්. එම නිසා නිරන්තරයෙන් ඔබේ දැනුම යාවත් කාලීන කර ගන්න. හැකි සෑම විට දීම දැනුම බෙදා ගන්න. තමන්ගෙ දැනුම පිළිබඳව කිසි විටෙකත් අධිතක්සේරුවකින් තොරව ආරක්ෂාකාරීව කඳු තරණයේ යෙදෙන්න.


පසු විපරුම

හොඳයි. දැන් අපේ පුංචි අභ්‍යාසය ඉවරයි. ඒ සඳහා ඔබට ලැබුණු ලකුණු එකතුව කුමක් වුවත් මේ ඒ නිසා දුක් වෙන වෙලාවක් වත්, සෘණාත්මක ව බලන්නවත් වෙලාවක් නෙමෙයි. ඒ වගේම ඔබ මේ ක්‍රීඩාවට හෝ විනෝදාංශයට ඇති ආදරය අඩු කර ගන්නවත් එපා. නමුත් මේ තමයි සුදුසුම වෙලාව ඔබේ දැනුම සන්නද්ධ කර ගන්න. ඒ සඳහා Scan Alpine අපට ඔබට උදව් කරන්න පුළුවන්. ඔබගේ ඉල්ලීම් අනුව වැටසටහන් හා පුහුණුවීම වැඩමුළු පවත්වන්නත්, ඒ ඒ ක්ෂේත්‍රයෝ ප්‍රවීණයෝ සහ ඔබගේ අවශ්‍යතාවය අනුව සුදුසු පාඨමාලා සඳහා ඔබට යොමුවීමට උදව් කිරීමටත් අපට පුළුවන්.

අපි දැන් ඉහත අපි කතා කරන්නට යෙදුණු එක් එක කාරණා සම්බන්ධයෙන් වැඩි දුර කතිකාවක යෙදුමු.

·         ඔබගේ කඳු තරණය පිළිබඳව ඊට පෙර පුරුද්දක් විදියට ඔබගේ හිතවතෙකු දැනුවත් කරනවා ද?

ඔබ යෙදෙන කඳු තරණය ඉතාමත් පහසු කඳු තරණයක් ලෙස ඔබට හැඟෙන්නට පුළුවන්. සමහර විටෙක පැය කිහිපයක, එහෙමත් නැත්නම් දින භාගයක අභ්‍යාසයක් වන්නට පුළුවන්. මතක  තබා ගන්න, අනතුරු සිඳු වන්නේ පෙර දැනුම් දීමකින්වත්, තැන නොතැන, වේලාව පිළිබඳව සළකා බැලීමකින්වත් නොවෙයි.

එම නිසා සෑම විටක දීම, විශ්වාසවන්ත හා වගකීමක් ගත හැකි අයෙකුට ඔබ යන ඉසව්ව පිළිබඳව දැනුම් දෙන්න.

·         පිපාසය සංසිඳුවීමට හා විජලනයෙන් වැළකී සිටීමට සුදුසු ම ක්‍රමය වන්නේ?

ජලය එදිනෙදා ජීවිතයේ දී නැතිවම බැරි දෙයක්. සාමාන්‍යය ව්‍යවහාරයේ දී, පුද්ගලයෙකුට ඔක්සිජන් නොමැතිව විනාඩි 03ක්, ජලය නොමැතිව දින 03ක් හා ආහාර නොමැතිව සති 03ක් නොමැරී ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ කාරණා එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම, අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒ වගේම තමයි, අපේ ශරීරය කියන මැශිම දුවන්න මේ ඉන්ධන අත්‍යාවශ්‍යයි. මේ ඉන්ධන සැපයුම අඩු වෙද්දී, ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාකාරිත්වය අඩු වී, සම්පූරණ්යෙන් ම ඇණ හිටිනවා.

හදිස්යකට නගරයට ගිය මොහොතක, ඔබට පිපාසයක් ඇති වී වතුර ටිකක් නොන්න නොමැති වුණු මොහොතක් ඔබේ ජීවිතයේ එක් වරක් හෝ ඇති වී තිබේ නම්  ඔබට තේරුම් ගන්න පුළුවන් ජලය කොපමණ නම් අපිට වැදගත් ද කියන කාරණය.

කඳු තරණයක දී ජලය පානය කිරීමට හොඳම ක්‍රමය තමයි, කඳු තරණයට පෙරාතුව , අතරතුර හා පසුව කුඩා උගුරු ලෙසින් ජලය පානය කිරීම. ඔබට පිපාසය දැනී ජලය පානය කළයුතු යැයි හැඟෙන මොහොත වන විට සැබවින් ම ඔබේ සිරුර යම්තාක් දුරකට විජලනයට ලක් වෙලා අවසානයි.

ඒ වගේම තමයි, ඒ කෂ්ණික මොහොතේ දී පිපාසය සංසිඳීමක් ලෙස දැනී ගියත් පැණි බීම පානය මඟින් සිඳු වන්නේ ඔබේ සිරුර තව දුරටත් විජලනය වීමක්.

අතර මඟ හමුවන ජල මූලාශ්‍ර වලින් ජලය පානය කිරීම ඇත්තෙන් ම බොහොම ප්‍රායෝගික සහ මඟ නොහැරිය හැකි දෙයක්. ඔබට ඔබ සතුව රැගෙන යා හැක්කේ යම් කිසි ප්‍රමාණයක ජල ධාරිතාවක් පමණයි. නමුත් සෑම විටම ඔබ ජල මූලාශ්‍ර මඟින් ලබා ගන්නා ජලය නිසි ලෙස පිරිපහදු කර ගන්න පුරුදු වෙන්න. මේ සඳහා ජලය උණු කර නටවා නිවා පාවිචිය, නිසි ප්‍රමිතියෙන් මේ සඳහා ම නිපද වූ පෙති වර්ග හා උපකරණ භාවිතා කරන්න පුළුවන්.

සමහර ජල මූලාශ්‍ර ගම්මාන හරහා පැමිණෙන අතරතුර ඊට අපද්‍රව්‍යය එක වීමට හැකියාව වැඩි අගයක් ගන්නා අතරම, වනාන්තරයක් ඇතුළත දී වුණත්, ඔබට පෙර එහි ගිය අයෙකු හෝ සත්වයෙකු විසින් එම ජල මූලාශ්‍රය අපවිත්‍ර කර තිබෙන්නට පුළුවන්. මතක තබා ගන්න, යම් කිසි හෙයකින්, අපවිත්‍ර ජලය භාවිතය මඟින් ඔබට පාචනය තත්වයක් ඇතිවුවහොත් ඔබ වඩ වඩාත් විජලනයට ලක් විය හැක.

·         ඇඳිරි වැටීමට තව ඇත්තේ පැය කිහිපයයි. ඔබ සතුව රාත්‍රිය වනාන්තරය තුළ ගත කිරීම සඳහා සුදුසු හා අත්‍යාවශ්‍යය උපකරණ හා ආම්පන්න නැත. ඔබේ කන්ඩායමේ සාමාජිකයෙකු ට සිඳු වූ සුළු අනතුරක් හේතුවෙන් වේගයෙන් ගමන් කළ නොහැක. ඔබ ගන්නේ කුමන තීරණය ද?

වර්තමානයේ බොහොමයක් දෙනා අමතක කරන කාරණයක් තමයි මේ. තරඟයට කඳු නැඟීම. මතක තියා ගන්න, කන්දක් කවදාවත් එහේ මෙහේ ගමන් කරන්නේ නෑ.

කඳු තරණයක දී ඔබ නිරාවරණය වී සිටින්නේ අස්ථාවර සාධක ගණනාවකට. කාළගුණය, හදිසි අනතුරු, මඟ වැරදීම්, වන සතුන්ගේ පහර දීම්, ගම් වැසියන්ගෙන් තර්ජන ආදී දේ ඔබට අත් විඳින්නට විය හැකි දේවල් කිහිපයක්.

උදාහරණයක් ලෙස ආබාධයක් සහිත සඟයෙකු සමඟ කඳු තරණයක් දිගටම කරගෙන යෑම ඔහුට මෙන්ම මුළු කණ්ඩායමට ම අනතුරක්. අවස්ථාව පිළිබඳව නිසි අධ්‍යයනයක් සිඳු කොට ආබාධයට ලක් වූ මිතුරාව ආරක්ෂිතව ජනාවාසයක් වෙත යොමු කිරීම හෝ නැවත් වෙනත් දිනයක දී එන බලාපොරොත්තුවෙන් එදිනට තම ගවේෂණය නැවැත්වීම තමයි සුදුසුම දේ. අනාරක්ෂිතව ඔබේ මිතුරා අතර මඟ තබා යෑමෙන් හදිසි අවස්ථාවක දී තමාව ආරක්ෂා කර ගැනීමට ඔහුට නොහැකිබව අමතක කරන්නට එපා.

·         ඔබ හදිසි තත්වයක දී ඒ සඳහා මුහුණ දීමට නිසි පුහුණුවකින් හා සුදුසු ආම්පන්න වලින් සූදානම් ද? උදාහරණ වශෙයෙන් නිසි ප්‍රථමාධාර පුහුණුවක් හා නොනැසී ජීවත් වීමේ ආම්පන්න කට්ටලක් (Survival kit) ඔබ සතුව තිබේ ද?

ලංකාව කියන්නේ කුඩා රටක් බව ඇත්ත. සමහර රටවල් වල ඇති කඳු පන්තීන් හා වනාන්තර හා සැසඳීමේ දී ලංකාවේ කඳු හා වනාන්තර සාපේක්ෂව කුඩා බවත් සැබෑව. නමුත් මින් පෙර සඳහන් කළ ආකාරයට ම අනතුරු සිඳු වන්නේ පෙර දැනුම් දීමකින් තොරවයි. එම නිසා ඒ සඳහා පෙර සූදානමක් හා පුහුණුවක් අනිවාර්‍යයෙන් ම තිබිය යුතුයි.

බටහිර රටවල නම් සාමාන්‍යය ජීවිතයේ දී පවා එම වැසියන් තමන්ගේ වාහනයේ, ගමන් මල්ලේ, කලිසම් සාක්කුවේ හදිසියක දී වුවමනා විය හැකි දේ නිරන්තරයෙන් ළඟ තබා ගන්නවා. උදාහරණයන් ලෙස බහුකාර්‍යය මෙවලලමක්, කුඩා ප්‍රථමාධාර කට්ටලයක්, වාහානයක වීදුරුවක් බිඳිය හැකි පෑනක් ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. ඔවුන් මෙම සංකල්පය EDC හෙවත් Every Day Carry ලෙස හඳුන්වනවා. නමුත් ශ්‍රී ලංකාවේ නීති රාමූන් මෙම බටහිර රටවලට වඩා බොහොමයක් වෙනස්. එම නිසා ඒ පිළිබඳවත් අමතක කරන්න එපා.

·         සිතියම් හා මාලිමා භාවිතය පිළිබඳ ව ඔබගේ පුහුණුව කෙසේ ද?

 

මිල අධික උපකරණයක් හෝ මෙවලමක් අප සතුව තිබූ පමණින් එය ප්‍රයෝනවත් වන්නේ නැති බව අප කවුරුත් පිළිගන්නා දෙයක්. නිසි ලෙසින් එය භාවිතය පිළිබඳව අපට අවබෝධයක් හා පුහුණුවක් තිබිය යුතුයි.

 

අන්තර්ජාලයෙන් භාගත කරන ලද සිතියම් ඉතාමත් හොඳ අදහසක් හෝ විකල්පයක්. නමුත් මතක තබා ගන්න, ඔබට එම සිතියම් කියවිය හැක්කේ, ඔබගේ මෙවලමේ බැටරි ආයු කාලය පවතිනතාක් කල් පමණයි.

ඒ වගේම ඔබ තනිවම හෝ අත්දැකීම් අවම කණ්ඩායමක්  සමඟ කඳු තරණයක යෙදෙනවාට වැඩියෙන් පුහුණුව ලද, අත්දැකීම් සහිත පුද්ගලයෙකු ඔබේ මඟ පෙන්වන්නා ලෙස යොදා ගැනීම ඉතාමත් බුද්ධිමත් තීරණයක්. නමුත් අමතක නොකළ යුතු කාරණය නම්, යම් හෙයකින් එම මඟ පෙන්වන්නා අනතුරකට භාජනය වුවහොත් ඉන් ඔබ්බට ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායම නොනැසී, කරදරයකින් තොරවා ආරක්ෂාවන්නේ කෙසේද යන කාරණය යි. එම නිසා හැම විටම, ඔබත් නිසි දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ වන්න. උගත් දෙයක් කිසි දිනෙක අපතේ ගිය දෙයක් වන්නේ නෑ. මේ හොඳ පුරුදු මඟින් ඔබ ආදරය කරන මේ ක්‍රීඩාව, විනෝශාංශය වසර ගණනාවක් පුරාවට කරදරයකින් තොරව අත්විඳින්නට ඔබට හැකියාව ලැබේවී.

ඉතිං අදට මේ ලිපිය අවසන් කරන්නයි මේ සූදානම. අපේ මීළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ මාතෘකාවේ ම දිගුවක්. ඒ කියන්නේ අපි අද කතා කළ දේවල් සහ තවත් කාරණ කිහිපයක් පිළිබඳ ව වැඩි දුරටත්, සවිස්තරාත්මකව ඊළඟ සතියේ කතා කරනවා.

 

සටහන: නදීශ දිලුම් දිසානායක
Scan Alpine කණ්ඩායම

 

 

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...