Monday, May 10, 2021

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

 

සුබ දවසක්!

 Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ්න සහ ඒ සඳහා පිළිතුරු පිළිබඳව කතා කිරීමටයි.

මෙම ලිපිය වෙනත් බොහොමයක් කාරණා ගැන පුළුල් ලෙස අප පසුගිය ලිපි මාලා වලින් කතා බහ කළා. ඉතිං ඕනෑම මොහොතක වැඩි විස්තර ලබා ගැනීමට අපේ බ්ලොග් අඩවිය පරිශීලනය කරන්නට ඔබට පුළුවන්.

The Everest Base Camp sign about 10 minutes walk from base camp - Stingy Nomads


ප්‍රශ්නය:

එවරස්ට් මූලික කඳවුර මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින් පිහිටා තිබෙන්නේ ද?

පිළිතුර:

 මුහුදු මට්ටමේ සිට මීටර් 5,364 / අඩි 17,598 උසකින් පිහිටි මෙම එවරස්ට් මූලික කඳවුර එවරස්ට් ගවේෂණ කණ්ඩායම් තමන්ගේ කූඩාරම් අටවා ගනිමින් ඉදිරි කටයුතු හා පුහුණුවීම් සිඳු කරනු තුරු විවේක ගන්නා හා ප්‍රධාන මෙහෙයුම් හා සැපයුම් කඳවුරයි.

 

If you are reasonably fit you should be able to do this - Stingy Nomads

ප්‍රශ්නය:

මේ කෙතරම් අසීරු ගමනක් ද? කෙතරම් අභියෝගාත්මක ද?

පිළිතුර:

 එවරස්ට් මූලික කඳවුර තරණයේ ගමන් මඟ මධ්‍යම අසීරු සිට අසීරු දක්වා වූ පාරාසයක විහිදෙනවා. නමුත් මේ අසීරුතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන බවත් සඳහන් කළ යුතුයි. පැය ගණන් එක දිගට පා ගමනේ යෙදීමට සිඳු වීම, ගමන් මල්ලේ බර, අසීරු කාළගුණික තත්වයන් ආදිය මේ අසීරුතාවයට හේතූන් වෙනවා. මේ නිසා අනිවාර්‍යයෙන් ම මාස ගණනක පෙර පුහුණුවක් අනිවාර්‍යයෙන් ම කළ යුතු වෙනවා.

 ගමන් මාර්ගය ගැන සඳහන් කිරීමේ දී ඇතැම් අවස්ථාවල මාර්ගය බොහොම බෑවුම් සහිත වනවා වගේම, ඇතැම් අවස්ථාවල මාර්ගය එක දිගට ම කඳු සහිත වනවා.

 මේ නිසා ඔබේ සම්පූර්ණ ගවේෂණයේ දින ගණන, ඔබගේ සෞඛ්‍යය තත්වය, ඔබ තෝරා ගත් මාසය ආදී මේ සියළුම දේ මේ ගවේෂණය කොතරම් දුරකට පහසු වෙනවාද, අපහසු වෙනවාද කියන කාරණය තීරණය කිරීමට බලපෑමක් එල්ල කරාවී.

 

Hiking to Everest Base Camp: things nobody tells you - Antonette (We12travel )


ප්‍රශ්නය:

මේ ගවේෂණය ඉතාමත් භයානක ගවේෂණයක් ද?

පිළිතුර:

 එවරස්ට් කඳු මුඳුන සහ එවරස්ට් මූලික කඳවුර යනු ගමනාන්තයන් දෙකක්. එවරස්ට් කඳු මුඳුන තරණයට සාපේක්ෂව සහ එවරස්ට් මූලික කඳවුර කරා ගමන අන්තරාදායක බවින් සාපේක්ෂව අවම වේ. කඳු උණ, සහ ඒ හා බැඳි සාධක හේතුවෙන් නිසි පුහුණුවකින් හා අධ්‍යයනයකින් තොරව ගමන් කිරීම අනතුරුදායකයි.

 නමුත් එවරස්ට් මූලික කඳවුර තරණයේ දී පවා කඳු උණ ඉතාමත් තීරණාත්මක සාධකයක්. නිසි අවබෝධයක් සහ අධ්‍යයනකින් තොරව මෙම ගවේෂණයට යොමු වීම ඉතාමත් අවධානම්.

 ඒ වගේම තමයි, ගමන අතරතුර සිඳු විය හැකි වෙනත් අනතුරු පිළිබඳවත් අප අමතක කළ යුතු නෑ. බෑවුම් සහිත ගමන් මාර්ග සහිත බැවින්, නොසැළකිලිමත් බව නිසා  අනතුරු සිඳු විය හැක.

 නමුත් හිම කඳු කඩා වැටීම්, හිමෙන් වැසුණු විශාල කුහුර තුළට වැටීම, හිම කුණාටු ආදී අනතුරු මෙම ගමනේ දී ඔබට මුහුණ දීමට සිඳු වන්නේ නෑ.


ප්‍රශ්නය:

මේ ගවේෂණය සඳහා සාමාන්‍යය කාල සටහන කෙබඳු ද?

පිළිතුර:

 ඔබගේ පුහුණුව සහ අත්දැකීම්, අය වැය, සෞඛ්‍යය තත්වය, නිවාඩු, කාළගුණික තත්වයන් ආදී දේ මත ඔබ විසින් මේ ගවේෂණය සඳහා වුවමනා වෙන දින ගණන තීරණය කළ යුතු වෙනවා. ඒ සඳහා පළපුරුදු සේවාදායකයෙකුගේ සහාය ලබා ගැනීම වඩාත් ම උචිත වෙනවා.

සාමාන්‍යයෙන් දින 10 සිට දින 18 දක්වා කාල පරාසයක් එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා ලුක්ලා ප්‍රාදේශීය ගුවන් තොටු පලේ සිට සහ නැවත ලුක්ලා ගුවන් තොටු පල දක්වා ගත වෙනවා.

සම්පූර්ණ ගමනේ දුර දළ වශයෙන් කිලෝමිටර් 130 ක් පමණ වෙනවා.

  

Trekking to Everest base camp blog - Journey Era 
 

ප්‍රශ්නය:

මේ ගවේෂණයේ දී නිරීක්ෂණය කළ හැකි දේ මොනවාද ?

පිළිතුර:

 හිමාලය කඳු පන්තියේ කඳු මුඳුන් (එවරස්ට් කඳු මුඳු ඇතුළුව ), ෂර්පා ගම්මාන, ෂර්පා ප්‍රජාවේ පන්සල්,ගංඟා, යැක් හරක් ඇතුළු ඒ ප්‍රදේශයේ ජීවත් වන සත්වයන්, ශාක වර්ග, විශාල බෑවුම් යා කර සෑඳූ පාලම්, ෂර්පා වෙළඳ පල, කෞතුකාගාර


Wifi is also available everywhere – these prices were on the higher side from Gorak Shep tea house -Sheena @ DIY Travel HQ


ප්‍රශ්නය:

නිවස සහ බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නේ කෙසේ ද?

පිළිතුර:

 ඇතැම් ගම්මාන වල, ඇතැම් නවාතැන් පළහි දුරකථන සහ අන්තර්ජාල පහසුකම් පවතින අතර, යම් මිලක් ගෙවීමෙන් ඔබට මේ පහසුකම් ලබා ගන්නට පුළුවන්.

මින් අමතරව ජනප්‍රිය සහ පිළිගත් සේවා සපයන සමාගම් මඟින් තම කණ්ඩායමේ සමාජිකයන් ට , සැටලයිට් දුරකථන පහසුකම් ලබා ගැනීමේ  පහසුව සළසන අවස්ථා පවතිනවා. එමෙන්ම සමහර ජංගම දුරකථන සඳහා ඇතැම් අවස්ථාවල දී, සීමිත ස්ථාන වලදී ඔබට සම්බන්ධතාවය ලබා ගන්නට පුළුවන්.

 

ඒ වගේම තමයි, WiFi සම්බන්ධතාවය සඳහා ඇතැම් නවාතැන් ඒ වෙනුවෙන් ඔබෙන් මිලක් ගන්නා අතරම, ඇතැම් නවාතැන් ඔබ එහි නවාතැන් ගැනීමේ දී හෝ ආහාර ගැනීමේ දී ඔබට ඒ පහසුකම නොමිලයේ ලබා දෙන්නට කටයුතු කරනවා. ලුක්ලා සිට ඉහළට ගමන් කිරීමේ දී ඒ හා සාපේක්ෂව මේ සෑම පහසුකමක ම මිල ත් ඉහළ යන බව අමතක කරන්නර එපා.

 

Charging is available at every teahouse & town on the EBC trek - Sheena @ DIY Travel HQ


ප්‍රශ්නය:

ජංගම දුරකථනය ඇතුළු විදුලි උපාංග නැවත ආරෝපණය කර ගන්නේ කෙසේද?

පිළිතුර:

ගමන් මාර්ගයේ හමුවෙන නවාතැන් හී දී ජංගම දුරකතන ආරෝපණය කර ගැනීම කරන්නට පුළුවන්. බොහෝ විට මෙහි දී ඔවුන් විසින් පැයක කාලයක් සඳහා ලෙසින් ඔබගෙන් මිලක් අය කරනු ලබනවා. ගුණාත්මක තත්වයකින් හෙබි, හිරු එළියෙන් ආරෝපණය වන පෝටර්බල් චාජර් එකක් මේ සඳහා හොඳම විසඳුමක්.

ඒ වගේම තමයි, මේ සේවය සපයන නවාතැන් සඳහා ඉල්ලුම ඉතාමත් ඉහළයි. ඒ වගේම එකම නවාතැනක කණ්ඩායම් කිහිපයක පිරිසක් නවාතැන් ගැනීමේ දී සියළු දෙනාට ම මේ පහසුකම ලබා ගත හැකි පරිද්දෙන් ඉවසීමෙන් සහ සදාචාර සම්පන්න ලෙසින් හැසිරීමටත් අමතක කරන්නට එපා.

සමහර Charging points උපකරණයට නොගැළපෙන්නට පුළුවන්. මේ හේතුව නිසා මතක ඇතිව, ඔබේ උපකරණස සඳහා වුවමනා charging points සහ කේබල් ඔබ සමඟ රැගෙන යන්න.

 

 

Resting at base camp - Berg Adventures International


ප්‍රශ්නය:

ගමන අතරතුර ඇඳුම් සේදීමට සහ වියළා ගැනීමට පුළුවන් ද?

පිළිතුර:

ඔබ සතුව ඉක්මනින් වියැළෙන, බරින් අඩු ඇඳුම් පවතී නම් වියළා ගැනීමේ හැකියාව පවතී. සම්පූර්ණ ගමන පුරාවට ම ගමන් කිරීමෙන් තොරව එකම ප්‍රදේශයේ නැවතී සිටින්නේ දින 2ක් 3ක් පමණ කාලයක් නිසා ඇඳුම් වියළා ගැනීම සඳහා ඔබගේ බැක් පැක් එකේ පසු පස එල්ලාගෙන යෑම මඟින් දිවා කාලයේ හිරු රැසින් ඇඳුම් වියළා ගැනීම කර ගන්නට පුළුවන්. නමුත් යම්කිසි ලෙසකින් වැසි සහිත කාළගුණයක් උදාවීමෙන් ඇඳුම් වියළා ගැනීම අපහසු වන්නට පුළුවන්.

 

Choose an ATM in Kathmandu with a high withdrawal limit to reduce fees- Sheena @ DIY Travel HQ


ප්‍රශ්නය:

කොපමණ මුදල් ප්‍රමාණයක් අමතර ව රැගෙන යා යුතුද?

පිළිතුර:

 ඔබ විසින් සේවා සපයන සමාගමක සහාය මේ ගවේෂණය සඳහා යොදා ගත්තේ නම් ප්‍රධාන ආහාර වේල් සහ නවාතැන් පහසුකම් සහිතව බොහොමයක් දේ ඔවුන්ගේ පැකේජයට ඇතුළත් වී තිබෙන්නට පුළුවන්. මේ නිසා ගමනට පෙර ප්‍රථමයෙන් පැකේජයට ඇතුළත් වන දේ නොමැති දේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න.

මීට අමතර ව, අතර මඟ දී වියදමට ( අමතර කෑමක්, වතුර, දුරකථන් ඇමතුමක් ) භාවිතය සඳහා නේපාල රුපියල් කුඩා නොට්ටු වලින් 3000 ක් පමණ ඔබ ළඟ තබා ගන්න. අගයෙන් විශාල් නෝට්ටු ලබා දීමෙන් ඇතැම් විට ඔබට ඉතිරි මුදල ලබා ගැනීමේ දී අපහසුතා ඇති වන්නට පුළුවන්.


ප්‍රශ්නය:

මෙම ගවේෂණය අතරතුර දී අතරමං වීමක් සිඳු වීමට පුළුවන් ද?

පිළිතුර:

ඔව් පැහැදිලිව ම මේ සඳහා හැකියාවක් පවතිනවා. සමහර ප්‍රදේශයන්ගේ නවාතැන් අතර කිලෝමීටර ගණනක දුරක් පවතිනවා. ඒ වගේම ප්‍රධාන ගමන් මාර්ගයට අමතර ව යැක් ගවයන් ගමන් ගන්නා මාර්ග මෙන්ම, පෝටර් වරුන් සහ ෂර්පාවරුන් භාවිතා කරන කෙටි මාර්ගයන් මෙන්ම, වෙනත් ගමනාන්තයන් ට යොමු වෙන මාර්ගයන් ද හමු වෙනවා.

මේ නිසා හැකි සෑම විටම වගකීම් සහගත සේවා සපයන්නෙක් ගේ සහාය ලබා ගන්න. නමුත් ඔබ සේවා සපයන්නෙකුගේ සහාය ලබා ගැනීමකින් තොරව ගමන් කරන්නට බලාපොරොත්තු වෙනවා නම්, හොඳින් සිතියම් අධ්‍යයනය කර, විස්තර විමසා බලන්න. ඒ වගේම ඔබේ කණ්ඩායම සමඟින් නිතරම රැඳී සිටින්න.

 

Everest Base Camp Stretches Along The Khumbu Glacier - Mountains of travel photos

 

ප්‍රශ්නය:

එවරස්ට් මූලික කඳවුර තරණය අතරතුර දී, මූලික කඳවුරට ළඟා වීමෙන් පසුව, එහි රාත්‍රිය ගත කළ හැකිද? ඉන් එහාට ගමන් කළ හැකිද?

 පිළිතුර:

එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා ලබා දෙන බලපත්‍රය සහ ඉන් ඔබ්බට (කුම්බු අයිස් ඇල්ල ඇතුළුව ) ඇතුළු වීම සඳහා ලබා දෙන කඳු නැඟීමේ බලපත්‍රය යනු වර්ග ද්විත්වයක්. මූලික කඳවුර තරණය සඳහා ලබා දෙන බලපත්‍රයෙන් ඉන් ඔබ්බට යෑම නීති විරෝධී වනවා මෙන්ම (විශාල දඩයක් ද සහිතව ), නිසි පුහුණුවක් සහ නිසි මඟ පෙන්වීමක් නොමැතිව එසේ ඇතුළු වීමෙන් ඔබට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිඳු විය හැක.

එවරස්ට් මූලික කඳවුරෙහි රාත්‍රිය නවාතැන් ගැනීමට නම් කඳු තරණ කණ්ඩායමක් සමඟ එක් වී ඒ වෙනුවෙන් තවත් විශාල මුදලක් ගෙවීමට සිඳු වේවි. නමුත් මේ සියළු දෙය පෙර සූදානමකින් සහ පෙර දැනුම් දීමකින් යුතුව පමණක් කළ හැක.

 

ප්‍රශ්නය:

මේ ගවේෂණය වෙනුවෙන් සිඳු කළ යුතු පුහුණුව කෙබඳුද?

පිළිතුර:

ඇත්තටම මේ ඉතාමත් පුළුල් මාතෘකාවක්. මේ සම්බන්ධයෙන් ලියැවුණු අපේ පෙර ලිපිය වෙත පිවිසීමෙන් ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.


You can find anything you need or forgot at the stores along the EBC trek- Sheena @ DIY Travel HQ


ප්‍රශ්නය:

ගවේෂණයට වුවමනා උපකරණ සහ ආම්පන්න කත්මණ්ඩු නුවරින් මිලදී ගැනීමට හැකිද?

පිළිතුර:

කත්මණ්ඩු නුවර ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයන්ගේ සැබෑ ගුණාත්මක බවින් යුතු උපකරණ මෙන්ම එම නාමයන් භාවිතා කරමින් නිපද වූ තත්වයෙන් බාල නිශ්පාදන ද දකින්නට පුළුවන්. ඒ නිසා තෝරා ගැනීම් ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුතු වෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර අපේ, සුදුසු උපකරණ තෝරා ගැනීම පිළිබඳව අපේ පෙර ලිපියෙන් කියවන්නට පුළුවන්.

 





Everest Base camp Trek - Awidinno

ප්‍රශ්නය:

මෙම ගවේෂණය අතරතුර ලැබෙන ආහාර පාන මොනවාද?

පිළිතුර:

බොහොමයක් චොකලට් වරග, පැණි බීම වර්ගයන්ගේ සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා වූ පරාසයකට මේ වන විට එවරස්ට් මූලික කඳවුර තරණය ගමන් මාර්ගයේ දී තෝරා ගැනීම් තිබෙනවා. බිත්තර ඔම්ලට් සමඟ, කර කරන් ලද පාන්, සුප් වර්ග, ව්‍යාංජන සමඟ බත් මේ ආදී අපට හුරු පුරුදු කෑමට අමතර ව නේපාලයට ම විශේෂ වූ කෑම වර්ගත් රස විඳින්නට පුළුවන්. නමුත් අනෙක් සෑම සේවාවක් මෙන්ම මුහුදු මට්ටමේ සිට ඉහළට යෑමේ දී ආහාර වර්ග වල මිල ද ඒ හා සාපේක්ෂව වැඩි වෙනු ලබනවා.


Menu in Benkar village. Rs. 100 = LKR. 167 - Sheena @ DIY Travel HQ


ප්‍රශ්නය:

බියර් වර්ගයක් හෝ මධ්‍යසාර වර්ගයක් පානය කිරීම නොසුදුසු ද?

පිළිතුර:

බොහොමයක් නවාතැන්වල බියර් වර්ග සහ දුම් වැටි මිල දී ගන්නට පුළුවන්. නමුත් බියර්  වර්ගයන් ඇතුළු සියළුම මධ්‍යසාරයන් සහ දුම් පානය මේ කඳු තරණ අභ්‍යාසය අතරතුර ඔබේ පළමු හා විශාලත ම අහියෝගය වන කඳු උණෙන් ගැළවීම පිණිස ඔබේ ශරීරය බාහිර පරිසරය ට නිසි ලෙසින් අනුගත කර ගැනීමේ ක්‍රියාවලියට එක එල්ලයේ ම බාධා ඇති කරනු ලබයි. මීට අමතර ව, අධික සීතල, හිස කැක්කුම, විජලයන ආදී තවත් බොහොමයක් බාධා මැද සිටින ඔබගේ ගමන සම්පූර්ණයෙන් ම අඩපණ කරාවි.

එමෙන් ම අධික මිලක් වැය කරමින්, විශාල කැපකිරීමක් කරමින් සිඳු කරන්නට යෙදෙන මේ අභ්‍යාසය සමඟ මත් පැන් පානය කිරීම කෙතරම් යෝග්‍යය ද යන්න සිතා බැලිය යුතු දෙයක්


ප්‍රශ්නය:

හදිසි රක්ෂණාවරණයක් (Emergancy & travel insuarnce) තිබීම අනිවාර්ය ද?

පිළිතුර:

ගවේෂණය අතරතුර දී යම් කිසි හදිසි අවස්ථාවක දී ඔබව වහාම රෝහලක් වෙත ගෙන ඒමට වුවමනා කරන හෙලිකොප්ටර් යානාවක් මඟින් කරන ගළවා ගැනීමේ මෙහෙයුමේ සිට උස් කඳු මුඳුන් ආශ්‍රිතව සිදු විය හැකි අනෙකුත් හදිසි අවස්ථාවල දී ඔබගේ එකම ගැළවීම මෙසේ ලබා ගන්නා රක්ෂණාවරණයයි. ඔබ විසින් කළින් ලබා ගන්නා ලද රක්ෂණාවරණයක් නොතිබුණ ද මෙම සේවාවන් ලබා ගැනීමේ හැකියාව පැවතිය ද එවන් අවස්ථාවක දී එවන් මෙහෙයුම් සඳහා ගෙවිය යුතු මිල සාපේක්ෂව ඉතාමත් අධික වේ.

 

Tea house accommodation on the hike - Sheena @ DIY Travel HQ


Teahouse snapshots from the EBC trek - Sheena @ DIY Travel HQ


 ප්‍රශ්නය:

මේ ගවේෂණය අතරතුර ලබා ගත හැකි නවාතැන් පහසුකම් කෙබඳු ද?

 පිළිතුර:

Gorakshep දක්වා ම ගමන් මාර්ගය පුරාවට ම ඔබට කළු ගලින් සහ ලෑලි එක් කර මනාව නිර්මාණය කළ නිවාස ආකාරයෙන් යුතු නවාතැන් දකින්නට පුළුවන්. Bunk beds සහ තනි කාමර ලෙස ඔවුන්ගේ කාමර වෙන් කර තිබෙන අතර ඔබගේ අය වැය අනුව ඔබට තෝරා ගැනීම කරන්නර පුළුවන්.

මේ නවාතැන් ඇත්තෙන්ම සුව පහසු වන අතර, ඇතැම් නවාතැන් හි උණු ජලය ස්නානය කිරීමේ පහසුකම පවා අමතර මිලක් ගෙවීමෙන් ලබා ගන්නට පුළුවන්. මීට අමතරව, පිරිසිඳු වැසිකිළි පහසුකම් මේ සෑම නවාතැනක ම පවතිනවා. නමුත් ක්‍රීඩකයන් විශාල වශයෙන් ගැවසෙන මාස වල මේ නවාතැන් ඉතාමත් තදබදයකින් යුතු වෙනවා මෙන්ම, පිරිසුඳු කමින් ද එක්තරා මට්ටමක ට පහළට වැටෙනවා.

ඔබගේ පුද්ගලික භාවිතය සඳහා toilet papaer සහ hand sanitizer රැගෙන ඒමට අමතක කරන්නට එපා.

මීට අමතරව රාත්‍රී කාලයේ දී උණුසුම ලබාගැනීමට මෙම නවාතැන් ඇතුළත , රාත්‍රී කාලයේ සෑහෙන වේලාවක් පුරාවටම උඳුනක් දැල්වෙන අතර හිමාලයේ සීතල අතර තුර මේ උඳුනින් ගෙන එන උණුසුම ඉතාමත් සැනසීමක්.


Explore the Khumbu Glacier at Base Camp – whatever the season is - Sheena @ DIY Travel HQ


ප්‍රශ්නය:

එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා අවුරුද්දේ වඩාත් සුදුසුම කාලය  කුමක් ද?

පිළිතුර:

එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ අග බාගයේ සිට මැයි මාසය දක්වා වූ කාලය සාමාන්‍යයෙන් ප්‍රචලිත වේ. ඔක්තෝබර් මාසයේ දී අවට කඳු මුඳුන් හොඳින් දකින්නට පුළුවන්. එමෙන් ම දේශගුණය සාපේක්ෂව උණුසුම් වේ.

දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය සීතලෙන් වැඩි නමුත්, සාපේක්ෂව අඩු පිරිසක් මේ ගමන් මගෙහි දකින්නට ලැබෙනවා. මාර්තු, අප්‍රේල් මාසයන් එවරස්ට් කඳු මුඳුන තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන්ගෙන් පිරී පවතිනවා.

Please consider your porters when deciding what to pack in your orange duffel bags! - Sheena @ DIY Travel HQ

ප්‍රශ්නය:

කඳු තරණ ගවේෂණයට යොදා නොගන්නා, නමුත් මව් රටේ සිට රැගෙන එන ලද අමතර ගමන් මළු ආරක්ෂිතව තබා ගන්නේ කෙසේද?

පිළිතුර:

ඔබ විසින් චාරික සංවිධානය කරන ආයතනයක සේවය ලබා ගනු ලැබුවේ නම් එහි කත්මණ්ඩු පිහිටි මූලස්ථානයේ හෝ ඔබ විසින් නවාතැන් ගනු ලබන හෝටලයේ හිමිකරු සමඟ සාකච්ඡා කර එම හෝටලයේ හෝ ආරක්ෂිතව ඔබගේ අමතර ගමන් මළු තබා යා හැක.

ඇතැම් විට ඒ වෙනුවෙන් ඔබට අමතර මිලක් ගෙවීමට සිඳු විය හැක.


ප්‍රශ්නය:

මේ වන විට එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා ගවේෂණ චාරිකා සංවිධානය කරන ආයතන බොහොමයක් තිබෙනවා. මේ අතුරින් වඩාත් ම සුදුසු හා ආරක්ෂිතව මේ කටයුත්ත සිඳු කරන ආයතනය තෝරා ගන්නේ කෙසේ ද?

පිළිතුර:

එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා සේවා සපයන්නෙක් තෝරා ගැනීමේ දී ඉතාමත් හොඳින් සොයා බලා (මේ සඳහා අන්තර්ජාලයේ වෙනත් පුද්ගලයන්ගේ අත්දැකීම් සහිත ලිපි කියවීමෙන්, ඔවුන්ගේ ගුණ දොස් ලිපි කියවීමෙන්) සහ දන්නා කියන මිතුරන්ගෙන් අසා දැන ගෙන, ඔවුන්ගේ රෙකමදෝරුව සහිත සමාගමක් තෝරා ගැනීම වඩාත් සුදුසු වෙනවා. මීට අමතරව ඔබගේ පළමු සම්බන්ධ වීමේ සිට ඉවසීමෙන් යුතුව ඔබගේ සියළු ගැටළු සහ පැනයන් ට පමාවකින් තොරව පිළිතුරු සැපයීමත් ඉතාමත් වැදගත්.

සාපේක්ෂව මිල අඩු සමාගමක් තෝරා ගැනීමෙන් ඒ මොහොතේ ඔබේ පසුම්බියට ලැබෙන සුළු වාසිය අවසනායේ දී නිසි ලෙසින් සූදානම් නොකළ ගවේෂණයක් හේතුවෙන් මුළු ගමන ම අසාර්ථක වීමක් වන තත්වයක් දක්වා ඇති වන්නට පුළුවන්.


මීට අමතරව ඔවුන් විසින් සම්පූර්ණ ගවේෂණය වෙනුවෙන් ඔබෙන් අය කරන මුදලට ඔවුන් විසින් ලබා දෙන සේවාවන් සහ උපකරණ ඔබ විසින් සොයා බලන ලද තවත් සමාගම් කිහිපයක් සමඟ සසඳා බලන්න. ඒ අනුව ඔවුන් සමඟ කතා බහ කරමින් ඔබගේ අවශ්‍යතාවයන් ට අනුකූළව වැඩ සටහන සකස් කර ගන්න. නමුත් ඔවුන්ගේ වෘත්තීය උපදේශයන් ට ගරු කිරීමටත්, ඒ සඳහා නිසි ලෙසින් අනුගත වීමටත්, අවනත වීමටත් අමතක කරන්නට එපා.

ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිර විය හැකි මඟ පෙන්වන්නන් සාපේක්ෂව වැඩි මිලක් අය කලත් ඒ තෝරා ගැනීම සම්පූර්ණ ගවේෂණය පුරාවට ම ඔබට විශාල උපකාරයක් වේවි.

මීට අමතරව ඔවුන්ගේ මඟ පෙන්වන්නන්ගේ අත්දැකීම් සහ හදිසි අවස්ථාවක් සඳහා ඔවුන් වෙත ලබා දී ඇති පුහුණුවත් ඉතාමත් වැදගත්. (උදා: ප්‍රථමාධාර පුහුණුව )

හොඳයි , පසුගිය සති කිහිපය පුරාවට ම, එවරස්ට් මූලික කඳවුර පිළිබඳව සහ ඒ හා ගවේෂණයකට යොමු වීමට බලාපොරොත්තු වන අයෙකු දැන ගත යුතු බොහොමයක් දේ ගැන කතා කළා. අද දින මේ ලිපියත් සමඟින් එවරස්ට් මූලික කඳවුර තරණය නමින් ලියැවුණු අපේ ලිපි මාලාව නිමා වෙනවා.

නමුත් ඔබට ඕනෑම මොහොතක අප හා සම්බන්ධ වෙමින්, ඔබට දැනගත යුතු දෙයක් ඇත්නම් අසා දැන ගන්නට පුළුවන් වගේම, ඔබ සැමට හැකි උපරිමයෙන් අපේ දැනුම ලබා දෙන්නටත් අපි සූදානමින් ඉන්නවා.

ලබන සතියේ තවත් ලෝක ප්‍රසිද්ධ ගමනාන්තයක් පිළිබඳ ලිපියකින් අපි හමු වෙමු.

 

ඔබට ජය

ස්තූතියි.

Scan Alpine කණ්ඩායම          






එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...