Wednesday, January 27, 2021

එවරස්ට් මූලික කදු තරණයේ අභියෝගතා

එවරස්ට් මූලික කඳවුර තරණයේ අභියෝගතා

 


සුබ දවසක්!

 

Scan Alpine පසුගිය ලිපියෙන් අපි කතා කළා එවරස්ට් මූලික කඳවුර තරණය පිළිබඳව හා ඒ හා වටපිටාව පිළිබඳව. අප බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් බොහොමයක් ඒ සඳහා ප්‍රතිචාර දකින්නට ලැබීම ගැන සන්තෝෂයි.

 

හොඳයි, පොරොන්ඳු වූ පරිද්දෙන් ම අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණයේ දී හමුවෙන අභියෝග, ඇතිවිය හැකි අනතුරු හා ඒ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දුර්මත පිළිබඳවයි.

 

බොහොමයක් දුර්මත, අනවබෝධයන් හා මනඃකල්පිතයන් ට හේතුව වන්නේ නිවැරදි අවබෝධයක් නොමැති කමයි.

 

හොඳයි අපේ කතාවේ ප්‍රධාන මාතෘකාවට යොමු වීමට පෙර අපි බලමුහිමාලය කියන වචනය කන වැකුණු සැනින් ඔබේ මතකට පළමුවෙන්ම එන දේවල් මොනවද? දිගු ලැයිස්තුවක් තිබේවී.

 

·         භාවනා කරන ඉසිවරු

·         යෙටී නම් හිම මිනිසා

·         ෂර්පාවරුන් නම් ශක්තිමත් මනුෂ්‍යය කොට්ටාසය

·         හිමෙන් වැසුණු මහා කඳු පන්ති

·         දරා ගත නොහැකි අධික සීතල

·         හිම කඳු නාය යෑම්

·         ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි

·         ශ්‍රී ලාංකික ජයන්ති කුරු උතුම්පාල

·         භූමිකම්පා

 

මින් සමහරක් දේ සත්‍යය වශයෙන් ම පවතින දේවල් වගේම ඇතැම් දේ ජනප්‍රවාද වල එන චරිත හෝ දිගු කාලයක් තිස්සේ ජනගත වුණු අදහස්.

 

අපේ මේ ලිපියේ අරමුණ වෙන්නේ ඒ මිත්‍යාවන් අතරින් සත්‍යය තේරුම් ගැනීම වගේම, එවරස්ට් මූලික කඳවුර තරණයේ දී ඇතිවිය හැකි සැබෑ අනතරු හා භයානක තත්වයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමයි.

 

ඇත්තටම එවරස්ට් මූලික කඳවුර තරණය භයානක ද?

 

මෙය තරමක් දුර ට එක එල්ලයේම පිළිතුරක් දීමට අපහසු ප්‍රශ්නයක්!

 

වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක දී මෙන්ම, එවරස්ට් මූලික කඳවුර  තරණයේ දීත් ඔබ නිරාවරණය වන අනතුරු, සංකූලතා මෙන්ම අපහසුතා තීරණය වන්නේ ඔබගේ පුහුණුව, පළපුරුද්ද, ජීවන රටාව, වයස, වත්මන් ශරීර සෞඛ්‍යයය වගේම ඔබ කඳු තරණය සඳහා තෝරා ගත් මාසය  ආදී කාරණා මතයි.

 

නමුත් මෙම කඳු තරණය අනතුරුදායක දැ‍යි කියා ඇසන පැනයට එක එල්ලයේ ම පිළිතුරක් ලබා දෙන්නේ නම් එම පිළිතුර විය යුත්තේ "ඔව්" කියායි.

 

 

හොඳයි. මෙම කඳු තරණයේ දී හමුවන සැබෑ අනතුරු හා අභියෝග ගැන කතා කිරීමට පෙර මේ සම්බන්ධයෙන් ඇති වැරදි අදහස් ඉවත් කර ගෙන සිටීම වඩා සුදුසුයි.

 

එවරස්ට් මූලික කඳු තරණය පිළිබඳ ඇති දුර්මත

 

 

·         එවරස්ට් මූලික කඳවුර හා එවරස්ට් කඳු මුඳුන එකම ගමනාන්තයක් බව

·         භාවනා කරන ඉසිවරු

·         යෙටී නම් හිම මිනිසා

·         දරා ගත නොහැකි අධික සීතල - Extreme coldness

·         හිම කඳු නාය යෑම් - Avalanches

·         භූමිකම්පා - ඉතාමත් කළාතුරකින් ඕනෑම තැනක ඇතිවිය හැක.

·         එවරස්ට් මූලික කඳවුර තරණයේ දී හිම හා අයිස් මතින් විශේෂිත තාක්ෂණයන් හා උපකරණ භාවිතා කිරීමට සිඳුවන බව

 

එවරස්ට් මූලික කඳු තරණයේ ඇති සැබෑ අභියෝග, අනතුරු හා සංකූලතා සමහරක්

 

·         ලුක්ලා සිට ඇති ගුවන් ගමන

·         යැක් හරක් ට්‍රේන්

·         මං පහරන්නන්

·         අතරමං වීම

·         මුහුදු මට්ටමේ සිට ඇති උස

·         පාරාජම්බුල කිරණ

·         කඳු උණ

·         පාචනය

·         අධික සීතල

·         නිසි අත්දැකීම් නොමැතිකම

 

 

ලුක්ලා සිට ඇති ගුවන් ගමන

 


නේපාලයේ ප්‍රධාන ගුවන් තොටුපල වන ත්‍රිභුවන් (Thribhuvan) ජාත්‍යාන්තර ගුවන් තොටුපළේ සිට එවරස්ට් මූලික කඳවුර වෙත ළඟා වීමට ඇති පහසුම හා ඉක්මන් ම මාර්ගය නම් අභ්‍යන්තර ගුවන් ගමනකින් ලුක්ලා ගුවන් තොට වෙත ළඟා වීමයි.

 

මුහුදු මට්ටමේ සිට අඩි 9500ක් පමණ උසකින්, කන්දක් කෙළවරෙහි ඉතාමත් කුඩා වපසරියක සකස් කර ඇති මෙම ගුවන් පථය ලෝකයේ අනතුරුදායක ම ගුවන්තොට 10 න් එකක් ලෙස සැළකේ.

 

හිමාලය කඳු පන්තියේ නිරන්තරයෙන් වෙනස් වෙන කාළගුණය, පිහිටීමේ ස්වභාවය, ගුවන් පතයේ අඩු දිග ආදී බොහොමයක් කාරණා නිසා මෙම ගුවන්තොට අනතුරුදායක වනවා.

 

පළමු වරට මෙම අත්දැකීම ලබන ගුවන් මඟියෙකුට මෙන්ම කිහිප වතාවක් ම මෙම අත්දැකීම ලබා ඇති ගුවන් මඟියෙකුට පවා සෑම අවස්ථාවක දීම සිතට බියක් ඇති කර ලීමට ලුක්ලා ගුවන් ගමනට පුළුවන් බව ලෝක ප්‍රසිද්ධ කරුණක්.

 

මෙම ගුවන් ගමන අතරතුර, ගුවන් යානයේ ගමන් ගන්නා නේපාල වැසියන් ඔවුන් සතු ඇට මාලය (නව ගුණ වැලක් වැනි  මාලයක් ) පිරිමදිමින් හිත සන්සුන් කර ගැනීමට  වෙහෙසෙන අයුරු සුලබ දසුනක්.

ආසන්න වශයෙන් විනාඩි 30 - 40 ක පමණ කාලයක් වැයවන මෙම ගුවන් ගමන, සීතල හිමාලයේ ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා වික්‍රමයට ගැළපෙනා හොඳ ආරම්භයක් ලබා දේවී.

 

යැක් හරක් දුම් රිය (Yak train)

 

 


මොකක්ද මේ දුම් රිය. ඔබ හිමාලය ආශ්‍රිත කඳු තරණයක යෙදී ඇත්නම් හෝ හිමාලය සම්බන්ධ වාර්තාමය වැඩසටහනක් හෝ චිත්‍රපටයක් නරඹා ඇත්නම් කළු හා සුදු වර්ණයන්ගෙන් යුතු, එල්ලා වැටෙන ලෝම පිටුණු විශාල හරකුන් විශේෂයක් පිළිබඳව ඔබේ නෙතු යොමු වී ඇති.

 

ලුක්ලා ගුවන්තොටු පළෙහි සිට කඳු තරණ ගවේෂණයන්ට අවශ්‍යය කරන ආහාර පාන, කූඩාරම්, ඉන්ධන, කඳු නැඟීමේ උපකරණ, සන්නිවේදන උපකරණ ආදී දහසකුත් දේ වුවමනා කරන ගමනාන්තයන් වෙත රැගෙන යෑමේ ක්‍රමවේදන් සැළකීමේ දී හෙලිකොප්ටර් යානා මඟින් ප්‍රවාහනය කරන ඉක්මන්, නමුත් මිල අධික නූතන විකල්පයට අමතර ව අතීතයේ පටන් පැවති ක්‍රම ද්විත්වය වන්නේ, කඳු වැටිය ආශ්‍රිතව සිඳුවන ගවේෂණයන්ගෙන් ජීවිකාව සරි කර ගන්නා පොටර් වරුන් (කුලියට බර අදින්නන් )මඟින් හෝ යැක් හරකුන්ගේ පිට මතින් බර ඇඳීමයි.

 

මෙම ක්‍රම ද්විත්වය වැය වන කාලය හා සැසඳීමේ දී වඩා කල් ගත වන්නක් වුවත්, පිරිවැය පිළිබඳව සැළකීමේ දී වඩා වාසිදායක විකල්පයන් වේ.

 

ඉතින්  කොහොම ද මේ යැක් හරකුන් අනතුරුදායක වෙන්නේ!

 

මෙසේ බර උසවාගෙන යන යැක් ගවයන් පේළියකට සාමාන්‍යය ව්‍යාවහාරයේ දී  "යැක් ට්‍රේන් " යනුවෙන් හඳුන්වයි. එක පෙළට යැක් ගවයන් 1015 ක පමණ කාණ්ඩායක් අධික බරක් පැටවූ විශාල ගෝනි හෝ ප්ලාස්ටික් බැරක් ශරීරයේ දෙපසින් එල්වා යන ගමනේ දී ගමන් මාර්ගයේ පටු ස්ථාන වල දී ඔවුන් ට මාර්ගය ඉඩ දීමට යෑමෙන් ඔබව පැටලී ප්‍රපාතයක ට පෙරළීමේ පැහැදිලි අවධානම නොසළකා හැරිය යුතු නොවේ. එමෙන් ම, මෙම සතුන් ව සුරතල් කිරීමෙන් වැළකීම වගේ ම ඡායාරූප ගැනීමේ දී පරිස්සම් සහගත දුරකින් සිටීමට අමතක කරන්න එපා.

 

 

මං පහරන්නන්

 


එවරස්ට් කඳු මුඳුන ඇතුළුව, එවරස්ට් මූලික කඳවුර හා අනෙකුත් කඳු පන්තීන් පිහිටා ඇති විශාල භූමි ප්‍රදේශ හඳුන්වන්නේ "සාගර් මාතා ජාතික උද්‍යානය "ලෙසයි.

 

මෙම උද්‍යානයට ඇතුළුවීමේ දී අවසර පතක් මිල දී ගැනීම අනිවාර්‍යය වේ. එක් එක් කඳු මුඳුන තරණය සඳහා මේ අවසර පතෙහි මිල වෙනස් වන අතර, ඒ ඒ අවසර පත ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වේ.

 

මෙම ක්‍රියාවලිය මඟින්, නේපාල රජයට ආදායමක් ලැබෙනවා මෙන්ම සාගර්මාතා ජාතික උද්‍යානයට ඇතුළුවන සියළු දෙනාගේ තොරතුරු වාර්තාවක් නඩත්තු වීමක් ද සිඳු වේ.

 

මින් වසර කිහිපයකට පෙරාතුව, සාගාර්මාතා ජාතික උද්‍යානයට ඇතුළු වීම සඳහා වලංගු අවසර පතක් මෙන්ම, ලියාපදිංචි මඟ පෙන්වන්නෙකුගේ සහාය ලබා ගැනීමත් අනිවාර්‍යය සාධකයක් ලෙසින් නේපාල රජය විසින් නම් කර තිබුණි.

 

මේ සඳහා ප්‍රධානම හේතුවක් ලෙසින් සඳහන් කර තිබුණේ දින ගණනාවක් පුරා දිවෙන ගමන් මාර්ගයේ ජනශූන්‍යය ප්‍රදේශයන් හී දී සංචාරකයන් බිය වද්දා මිල මුදල් කොල්ල කෑමට හුරු වී සිටි මං පහරන්නන් කණ්ඩායම් කිහිපයක් ගැන ආරංචි පැතිර යෑමයි.

 

නේපාල රජය මෙම නීති රීතී කළඉන් කළට වෙනස් කරන්නට යෙදෙන බැවින්, ඔබත් සාගර්මාතා ජාතික උද්‍යානයේ කඳු තරණය කිරීමට බලාපොරොත්තු වනවා නම් නිසි පෙර විපරක් කිරීම අත්‍යාවශ්‍ය බව මතක් කරන්නට කැමතියි.

 

අතරමං වීම

 

ලුක්ලා ගුවන් තොටුපළෙහි සිට එවරස්ට් මූලික කඳවුර වෙත හා ආපසු ගුවන්තොට වෙත ඇති දුර සාමාන්‍යයෙන් කිලෝමීටර 130 ක් පමණ වේ. වර්තමානය වන විට ඉන් බොහොමයක් ප්‍රදේශ තුළ ටී හවුස් නමින් හඳුන්වනු ලබන කුඩා නවාතැන් පළවල් බිහි වී ඇති අතර කඳු තරණය සඳහා සුදුසු කාළගුණයක් සහිත මාසයන් හී දී මෙම ගමන් මාර්ගය බොහෝ දුරට කඳු නඟින්නන්ගෙන් පිරී පවතිනි දකින්නට පුළුවන්.

 

නමුත් ගමන් මාර්ගය ආශ්‍රිතව ප්‍රධාන ජනාවාශ පිහිටා ඇති ස්ථාන පිහිටන්නේ කිහිපයක් පමණයි. ඒ අතරතුර ගමන් මාර්ගයේ දී නිසි අවබෝධයකින් හා අත්දැකීමකින් තොරව ගමන් කරන්නෙකුට මඟ වැරදී මේ පැහැදිලි සම්භාවිතාවයක් පවතී. මෙම සම්භාවිතාවය විශේෂයෙන් ම නේපාල හිමාලය ආශ්‍රිත කඳු තරණය සඳහා සාපේක්ෂව අඩු ප්‍රසිද්ධියක් උහුළන මාසයන් වල දී වැඩි විය හැක.

 

 

මුහුදු මට්ටමේ සිට ඇති උස

 

ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට ඉහළම උස් භූමියක ජීවත් වීමේ අත්දැකීම ලැබෙන්නේ නුවර එළිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල සංචාරයක දී ලබන අත්දැකීමයි. ඒ මුහුදු මට්ටමේ සිට මීටර 1868 (අඩි  6,128 ft) ක පමණ උසකින්.

 

ශ්‍රී ලංකවේ උසම කඳු මුඳුන වන පිදුරුතලා ගල කන්ද පිළිවෙලින් මුහුදු මට්ටමේ සිට මීටර 2524 (අඩි 8281) ක උසකින් හා දෙවැනියට උසම කන්ද වන කිරිගල්පොත්ත කන්ද මීටර මීටර 2,395 (අඩි 7,858) ක උසකින් යුක්ත වේ.

 

නමුත් එවරස්ට් මූලික කඳවුර මුහුදු මට්ටමේ සිට මීටර 5500 (අඩි  19,990) ක උසකින් පිහිටා ඇති අතර, එම ගමනේ දී සාමාන්‍යයෙන් එම උස ආශ්‍රිතව දින තුනක පමණ කාලයක් වැය කිරීමට සිඳු වේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශන්හී ජීවත් වන සාමාන්‍යය ශ්‍රී ලාංකිකයෙකුට නුවර එළිය ප්‍රදේශයේ පවතින සීතල, දිවා කල හිරු රශ්මිය හා ඇතැමෙකුට හුස්ම ගැනීමේ දී ඇතිවන අපහසුතා හා ගැන සැළකීමේ දී, ඒ හා ආශ්‍රිත ඔබේ අත්දැකීම සමඟ කුඩා සංසන්දනයක් කර බැලීමෙන්  ඔබට එම උස මෙන් දෙගුණයකටත් වඩා වැඩි උසක දී ඇති විය හැකි අපහසුතා පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි.

 

එමෙන් ම අනෙක් කරුණ නම් ඔබ මෙම ගවේෂණය සඳහා අභ්‍යන්තර ගුවන් ගමනින් පසුව ගොඩ බසින ලුක්ලා ගුවන් තොටු පළ පවා පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 2860 ක උසකින්.

 

 

 

ඉතින් මොනවද මේ මුහුදු මට්ටමේ සිට ඉහළට ගමන් කිරීමේ දී  ඇතිවිය හැකි සංකූලතා, එහෙමත් නැත්නම් ඇතිවන අපහසුතා. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමු.

 

 

පාරාජම්බුල කිරණ

 

මුහුදු මට්ටමේ සිට ඉහළට ගමන් කිරීමේ දී ඔබ වැඩි වැඩියෙන් හිරු එළියට එක එල්ලයේ ම නිරාවරණය වේ. මේ කාරණය නිසා නිසි ප්‍රමිතියෙන් යුතු අව් කන්ණාඩි පැළඳීම, හිස් ආවරණයක් පැළඳීම, අව් ආවරණ ආලේපනයක්  (Sunscreen) භාවිතයෙන් මෙම අවධානම අඩු කර ගත හැක.

 

කඳු උණ

 

ලෝකය පුරා විසිරුණු කඳු නඟින්නන්ගේ භයානකම සිහිනය ලෙසින් හැඳින්විය හැකි භයානක තත්වයක් ලෙසින් " කඳු උණ " නමින් සාමාන්‍යය ව්‍යාවහාරයේ දී හඳුන්වන Altitude Mountain sickness (AMS) දැකිවිය හැකිය.

 

අත්දැකීම් ඇති, නැති සියළු කඳු තරණය කරන්නන් නිරාවරණය විය හැකි තත්වයක් ලෙසින් හැඳින්විය හැකි මෙම තත්වය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට හැඳින්විය හැක.

 

එනම්

 

·         AMS – Altitude Mountain Sickness

·         HAPE – High Altitude Pulmonary Edema

·         HACE - High Altitude Cerebral Edema

 

මුහුදු මට්ටමේ සිට ඉහළට ගමන් කිරීමේ දී පරිසරයේ සිඳුවන පීඩන වෙනස් වීම මූලික කරගෙන ඇතිවන වෙනස් කම් වලට ක්‍රීඩකයාගේ ශරීරය නිසි ලෙසින් අනුගත (Acclimatization)වීමට නොහැකි වීම මඟින් මෙම  තත්වයන් ඇතිවන බව සරලව ම හැඳින්විය හැක.

 

ඉක්මනින් හඳුනා ගැනීමෙන් හා ප්‍රතිකාර කිරීම හා විවේක ගැනීම මඟින් ආරම්භක අවස්ථාවේ දී ජීවිත හානියකින් තොරව මෙම තත්වයෙන් මිදීමට හැකියාව ඇත.  මෙම රෝග තත්වය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම මඟින් රෝග ලක්ෂණ නිරීක්ෂණය කර , මීළඟ පියවර සඳහා යොමු විය හැක.

 

එමෙන් ම අනෙක් වැදගත් ම කාරණය නම් මින් බොහොමයක් ලක්ෂණ මුහුදු මට්ටමේ සිට ඉහළට යෑමේ දී දකින්නට ලැබෙන සාමාන්‍යය ලක්ෂණ වේ.

 

රෝග ලක්ෂණ

 

·         නිතර පවතින හිසරදය

·         කරකැවිල්ල

·         වමනය

·         ආහාර අරුචිය

·         කේන්ති යාම

·         හුස්ම ගැනීමේ අපහසුතා

 

වර්තමානය වන විට ආරක්ෂණ ක්‍රමවේදයන් ලෙස, බෝතල් කළ ඔක්සිජන් ලබා ගැනීමේ පහසුව, හෙලිකොප්ටර යානා මඟින් මුදා ගැනීමේ මෙහෙයුම් කිරීම පහසුව ආදී දේ සැළකිය හැක.

 

මේ පිළිබඳව වැඩි දුර තොරතුරු අපි වෙනත් ලිපියකින් සවිස්තරාත්මක ව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේ මාතෘකාවට වැඩි අවධානයක් යොමු කිරීම මඟින් ඔබේ ගවේෂණයේ සම්පූර්ණ සාර්ථකත්ව ප්‍රතිශතය වැඩි කර ගත හැක.

 

පාචනය

 

ඕනෑම බාහිරගත ක්‍රියාකාරකම ක දී නිසි සනීපාරක්ෂාවක් නොමැති කම නිසා හෝ අපිරිසිදු පානීය ජලය භාවිතයෙන්, ආහාර විෂ වීමකින් ඔබ පාචන තත්වයකට බඳුන් විය හැක. එම නිසා ආහාරා පාන ගැනීමේ දී, හා පානීය ජලය ලබා ගැනීමේ දී විශේෂයෙන් සැළකිලිමත් වන්න. ඔබගේ ගමන පිළිබඳව දොස්තර මහතමයෙකු නිසි පරිදි දැනුවත් කර, සුදුසු බෙහෙත් වර්ගයක් ඔබ සතුව තබා ගන්න. මොකද පාචන තත්වයත් සමඟ ඔබ විජලනයට ලක් වන අතර ම ඉන් අනතුරුව ඔබට සීතල දරා ගැනීමේ අපහසුතා ද ඇතිවිය හැක.

 

අධික සීතල

 


එවර්ස්ට් කඳු මුඳුන තරණය කිරීමක දී කඳු තරණ ක්‍රීඩකයෙකු මුහුණ දෙන තරම්, අධික දරා ගැනීමට අපහසු සීතලක් (සෙල්සියස් -42 පමණ ) මූලික කඳවුර තරණයේ දී ඔබට අත්දකින්නනට නැතත්, දිවා කාලයේ පවා හමා යන සුළඟත් සමඟ (wind chill) තරමක සීතලක් ඔබට අත්විදින්නට සිඳු වේවි. නමුත් සාමාන්‍යයෙන් දිවා කාලයේ දී කාළගුණය උණුසුම් තත්වයක පවතී. නමුත් මෙම තත්වය ඔබ කඳු තරණය සඳහා තෝරා ගන්නා මාසය ද එක එල්ලයේ ම මේ සඳහා බලපෑමක් ඇති කරනු ලබයි.

 

නමුත් මෙම සීතල කාළගුණික තත්වයන් ට හා කඳු තරණයන් සඳහා නිමවී ඇති, සුදුසු ඇඳුම් පැළඳුම් ඔබගේ ආම්පන්න ලැයිස්තුවට එකතු කර ගැනීමට අමතක කරන්න එපා. විශේෂයෙන් ම රාත්‍රී කාලය සඳා නිදන මල්ලක් (sleeping bag) තිබීම අනිවාර්‍යය වේ.

 

නිසි අත්දැකීම් නොමැතිකම

 

හොඳයි, ඉහත සඳහන් කළ සියළු කාරණා සමඟින් සම්බන්ධ වන තවත් එක් ප්‍රධානත ම කාරණයක් තමයි නිසි පුහුණවකින් තොරව, නිසි අත්දැකීම් හා අවබෝධයකින් තොරව මේ ගවේෂණයට එක් වීම.

 

මේ නිසා, මෙම කඳු තරණයට පෙර හොඳින් කියවීමෙන්, අත්දැකීම් සහිත අය සමඟ සාකච්ඡා කිරීමෙන්, වීඩියෝ පට නැරඹීමෙන් හා මෙරට, පිට රට සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වෙමින්, ප්‍රශ්න අසමින් ඔබේ දැනුම වර්ධනය කර ගන්න. එමෙන් ම සියළු සැක සංකා දුරු කර ගන්න.

 

එමඟින් ඔබට නිදහස් මනසකින් හා අනිසි බියකින් තොරව, නිසි සූදානමකින් යුතුව ඔබේ නව ගවේෂණය සිත් සේ විඳීමට හැකිවන ඇත.

 

එවරස්ට් මූලික කඳවුර තරණයේ ගමන් මාර්ගයේ විස්තර සමඟින් මීළඟ ලිපියෙන් හමු වෙමු.


ස්තූතියි.


Scan Alpine කණ්ඩායම

 


දත්ත: විකිපීඩියා වෙබ් අඩවියෙන්

 

·         ඡායාරූප අංක 01:  ‍යැක් දුම් රියක් (ඡායාරූපය: අන්තර්ජාලයෙන් )

·         ඡායාරූප අංක 02: ලුක්ලා ගුවන් තොටුපළ හා අභ්‍යන්තර ගුවන් ගමන් යානයක් (Domestic flight) (ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 03: හිම පතනයකින් පසුව ගමන් මාර්ගය (ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 04: බර ඔසවාගෙන යන පෝටර් වරයෙක් (ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 05: ගවේෂණය අතරතුර පසු කළයුතු යකඩ පාළමක්. (suspension bridge)(ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)



 

No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...