Sunday, February 28, 2021

මූලික කඳවුර තරණය සඳහා ආම්පන්න ලැයිස්තුව

සුබ දවසක්!

Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ මූලික කඳවුර තරණය සඳහා වුවමනා වන උපකරණ හා ආම්පන්න පිළිබඳවයි. තවත් බොහොම වැදගත් මාතෘකාවක්.

 


ඔබ දැනටමත් දින කිහිපයක කඳු තරණයක නිරත වුණු අයෙකු නම් හොඳ අවබෝධයක් තියෙනවා ඇති ඔබට වුවමනා වේ යැයි සිතෙන සියල්ලම ඔබට ඔසවා ගෙන යා හැකි ප්‍රමාණයක බැක් පැක් එකක් තුළට එකතු කර ගැනීම කෙතරම් අපහසු ද කියන කාරණය.

 කඳු තරණයක නිරත වෙනවා කියන්නේ අපි අපේ සුව පහසු වට පිටාවෙන් මිදෙනවා කියනවා වගේම අපේ සාමාන්‍යය, එදිනෙදා ජීවිතයේ දී අප විසින් භාවිතා කරන්නට හුරු වී තිබෙන සුඛෝපභෝගී උපකරණ සියල්ලක් ම අපට ගෙන යන්නට ත් හැකියාවක් නෑ.

 

Better to have it and not need it - PMag.com

ඉතිං පළමුවෙන් ම ඔබ කළ යුතු දේ නම් ඔබ විසින් කරන්නට යෙදෙන මේ ගවේෂණයේ ස්වභාවය, අභියෝගයන් වගේ ම ඔබගේ පුද්ගලික අවශ්‍යතා හා සෞඛ්‍යය අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා හොඳ අධ්‍යයනයක් කිරීමයි. ඒ අනුව ඔබට වඩාත් හොඳින් ගමනට වුවමනා කරන ද්‍රව්‍යය පිළිවඳව තීරණයක් ගැනීම කරන්නට පුළුවන්.

අවසාන මොහොතේ දී මෙවන් අත්‍යාවශ්‍යය දේ මිල දී ගැනීම වෙනුවට පෙර හොඳ සූදානමක් සහිතව මේ වෙනුවෙන් යොමුවීමෙන් සිඳු විය හැකි අපහසුතාවයන් බොහොමයක් මඟ හරවා ගත හැක. මේ අනුව ඔබට ගැළපෙන ප්‍රමාණය, වර්ණය, ගුණාත්මක භාවය අනුව ඔබට තෝරා ගැනීම් කරන්නට ඇති තරම් කාලය තිබේ වී.

What backpacking gear have you damaged or destroyed? - Travel Journals.net


ඒ වගේම තවත් කාරණයක් තමයි මෙහි එන ඇතැම් උපකරණ ඔබට කත්මණ්ඩු නුවරින් කුළී පදනම යටතේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිරතුරුව කඳුතරණයේ නොයෙදෙන අයෙකුට මේ විකල්පය වඩාත් ප්‍රායෝගික වේවී.

කත්මණ්ඩු වලදී ඔබට මඳක් පාවිච්චි කළ උපකරණ ඉතාමත් සාධාරණ මිලකට මුලදී ගන්නත් පුළුවන්. නමුත් ජනප්‍රිය සන්නාම නාමයන් අනුකරණය කළ ගුණාත්මක බවින් අඩු ආදේශක ත් ඒ අතර බහුල වෙනවා. ඒ පිළිබඳව ඔබ අනිවාර්‍ය්න්ම ප්‍රවේශම් විය යුතුයි. අන්තර්ජාලයේ විස්තර සෙවීමෙන්, හා මෙම අත්දැකීම ලබා ගත් ඔබේ මිතුරන්ගෙන් අසා දැන ගැනීමෙන් විශ්වාසවන්ත කඩ සාප්පු කිහිපයක නම් ඔබට සොයා ගන්නට පුළුවන් වේවී.

NEPAL TIP # 2 FAKE SHOP of The North Face in Nepal - Youtube 

ඔබ මේ ගවේෂණය සඳහා යම් කිසි සමාගමක සේවය ලබා ගන්නේ නම් ඔවුන් හා මේ මාතෘකාවට අදාළව පැහැදිලි ව සන්නිවේදනය කරන්න. ඔවුන් ඔබට ඉදිරිපත් කළ මිල කතනයේ ඇතැම්විට මේ යම් යම් උපකරණ ඇතුළත් කර තිබෙන්නටත් පුළුවන්.

ඒ වගේම තමයි, ඔබේ ළඟ ම මිතුරෙකු වෘත්තීය කඳු නඟින්නෙක් නම්, මේ ඇතැම් උපකරණ ඔබට ඔහුගෙන් / ඇයගෙන් ණයට ඉල්වා ගන්නත් පුළුවන්. නමුත් මතක තබා ගත යුතු කාරණය නම්, මේ සමහරක් උපකරණ ප්‍රචලිත සන්න්නාම යටතේ පැමිණෙන අතර  ඉතාමත් අධික මිලක් වෙනවා වගේම වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ නිරත වන අයෙකු මෙම වත්කම් ඉතාමත් අරපරිස්සමින් හා ආදරකින් පාවිච්චි කරන්නට යෙදෙනවා. ඉතිං ඔබේ මිතුරා යම් කිසි හෙයකින් ඔබ සමඟ ඒ උපකරණ බෙදා ගන්නට අකමැති වුව්හොත් ඔහු සමඟ අමනාප වෙනට එපා.

ඔබේ ගමන සැළසුම් කිරීමේ දී ම මතක ඇතුව වුවමනා කරන උපකරණ හා ඇඳුම් මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර තබා ගන්න. මිල අඩු ආදේශක භාවිතා කිරීම මඟින් ඔබගේ සම්පූර්ණ ගවේෂණය ම අසාර්ථක එකක් බවට පත් විය හැක.

Grandmas all around are rolling in their graves - Reddit


ඒ වගේම තමයි, අධික සීතලෙන් යුතු මාසයන් මඟ හැරීම මඟින් ඔබට සාපේක්ෂව යම් මුදලක් ඉතිරි කර ගැනීමටත් අවස්ථාව ලැබෙන්නේ අධික සීතල කාළගුණයකට වුවමනා කරන ඇඳුම් ආයිත්තම් ඉතාමත් මිලෙන් අධික නිසායි.

හොඳයි අපි දැන් අපේ උපකරණ හා ඇඳුම් ලැයිස්තුවට යොමු වෙමු. මේ ලැයිස්තුව සැකසීමේ දී වඩාත් සීතලෙන් යුතු දෙසැම්බර් - පෙබරවාරි මාසයන් අතරතුර සිඳු කරන ගවේෂණය ක් සඳහා අවධානය යොමු කර ඇත.

එමෙන් ම මෙහි සඳහන් වන්නේ ලුක්ලා සිට එවරස්ට් මූලික කඳවුර දක්වා වූ ගමන් මඟෙහි භාවිතය සඳහා සුදුසු ඇඳුම් හා උපකරණ වර්ග හා යෝජනා කරන ප්‍රමාණයන් පමණක් බවත් මතක් කළ යුතුයි.

ඇඳුම් 


සාමාන්‍යයෙන් සීතල කාළ ගුණික තත්වයක් යටතේ සිඳු කරනු ලබන කඳු තරණයන් හී දී ස්ථර කිහිපයකින් ඇඳුම් ඇඳීම සිඳු කරනු ලබනවා. මේ ස්ථරයන් පිළිවෙලින් මූලික ස්ථරය - Base layer, දෙවන ස්ථරය - Insulation layer, බාහිර ස්ථරය - Outer layer ලෙසින් හඳුන්වන්නට පුළුවන්.

Introduction to Layering - Paddy Pallin

සම්පූර්ණ ගමන පුරාවට ම මේ සි‍යළු ස්ථරයන්ගෙන් සැරසී සිටීම අනවශ්‍යය වන අතර, ගමනේ වඩාත් සීතලෙන් යුතු කොටසේ දී ඔබට නිසි අයුරින් සූදානම් විය හැකිය. සීතල කාළගුණයක් සඳහා ඔබින අමුද්‍රව්‍ය වලින් නිමවී තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේම බාහිර ස්ථරය සීතල සුළඟින් හා වැස්සෙන් ඔබව ආරක්ෂා කළ හැකි ඉතාමත් හොඳ ගුණාත්මක බවකින් යුතු වෙනවා.

කඳු තරණ  කළිසම්

එවරස්ට් මූලික කඳවුර තරණයේ මුල් කොටසේ දී ඔබට කොට කළිසමකින් සැරසී ගමන් කිරීම වඩාත් පහසුවක් වේවි. නමුත් එය එකිනෙකාගේ පුද්ගලික පුරුද්දක හා කැමැත්ත මත තීරණය කළ යුතු දෙයක්. කළිසම් තෝරා ගැනීමේ දී කඳු තරණය සඳහා ම නිපද වූ කළිසම් තෝරා ගැනීමට සැළකිළිමත් වන්න. එම නිශ්පාදන බොහෝ විට බරින් අඩු, ඉක්මනින් වියළෙන, ඇසිරීමේ දී අඩු ඉඩක් ලබා ගන්නා, චලනයට පහසු ලෙසින් හා රළු පාවිච්චියට සුදුසු ලෙසින් නිපදවා තිබෙනවා.

එක් දිග කළිසමක් හා කොට කළිසම් දෙකක් පමණ රැගෙන යෑම මෙම ගවේෂණය සඳහා ප්‍රමාණවත් වේවී.

කඳු තරණ  ටී ෂර්ට්

ඉක්මනින් වියැළෙන, දහඩිය වාෂ්ප වීමට ඉඩ සළසන අමු ද්‍රව්‍යයකින් සෑඳූ නිශ්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරන්න. අත් දිග හා අත් කොට ලෙසින් ඔබට තෝරා ගැනීම් කළ හැකි අතර සම්පූර්ණ ගමන සඳහා ටී ෂර්ට් 5ක් පමණ ප්‍රමාණවත් වේවී. ඔබට මේ සියළු ඇඳුම් සෝදමින්, වියැළීම සඳහා දිවා කාලයේ දී ඔබේ බැක් පැක් එකෙහි පසු පස එල්වා ගෙන ගමන් කළ හැක.

Hiking-Tshirt-for-men - Blog, camino adventures

යට  ඇඳුම්

ඉක්මනින් වියැළෙන, දහඩිය වාෂ්ප වීමට ඉඩ සළසන අමු ද්‍රව්‍යයකින් සෑඳූ නිශ්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරන්න. සම්පූර්ණ ගමන සඳහා ටී ෂර්ට් 5ක් පමණ ප්‍රමාණවත් වේවී.

 ඒ වගේම ශරීරයට අපහසුවක් නොදැනෙන අමු ද්‍රව්‍යයකින්, හැඩයකින් හා නිමාවකින්, තෝරා ගන්න. දිනකට පැය කිහිපයක් එක දිගට ඇඳගෙන දීර්ඝ පා ගමන් කිරීමට සිඳු වීම නිසා කෙළින් ම ශරීරය හා ඝර්ෂණයේ යෙදෙන මෙම ඇඳුම් කාණ්ඩය පිළිබඳව අනිවාර්‍යන්ම නිසි අවධානය යොමු කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙසින් කාන්තා උඩුකය ආවරණය වන යට ඇඳුම වල පැවතිය හැකි ලෝහ කොටස්, අධික තද බවින් යුතු ඉකිලි අතර හිර වෙන පිරිමි යට ඇඳුම් දිගු කාලයක් පැළඳ සිටීම හේතුවෙන් සම තුවාල වීම මඟින් එක එල්ලයේ ම ගමනේ සාර්ථක භාවයට බලපෑමක් විය හැක.

 හිස් ආවරණ

හිරු එළියෙන් හොඳින් ආවරණය ලබා දෙන තොප්පියක් එවරස්ට් මූලික කඳවුර තරණට සඳහා ඔබ අනිවාර්‍යන්ම එකතු කර ගත යුතු දෙයක්. නැවතත් පහසුවෙන් ඇසිරිය හැකි මෙන්ම බරින් අඩු විකල්පයක් තෝරා ගන්න.

සීතල කාළගුණයක දී පැළඳීම සඳහා හොඳ අයිස් කැප් (beanie) එකක් ඔබ සතුව තිබීමත් ඉතාමත් වැදගත්.  මෙමඟින් ඔබේ දෙකන් , බෙල්ල ප්‍රදේශය හා හිස සීතලෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්.

අත් වැසුම්

ඔබගේ දෙ අත් සීතලට මුලින් ම නිරාවරණය වන ශරීරයේ අවයවයන් අතරින් එකක්. මේ හේතුව නිසා සීතලෙන් ඔබේ අත ප්‍රවේශම් කර ගැනීමට සුදුසු අත් වැසුම් පාවිච්චිය ඉතාමත් වැදගත්.

ඒ වගේම තමයි, ගමනේ ආරම්භයේ දී සිට ඔබේ සිරුරට සීතල කාළගුණය හුරු කිරීමට සීතලෙන් අඩු මුල් දින කිහිපයේ දී අත් වැසුම් පැළඳීම ත් කළ හැකි දෙයක්.

වැසි සහිත කාළ ගුණයක දී පැළඳීම සඳහා ජලය නොරදන අත්වැසුම් යුගළයක් සහ සවස සහ රාත්‍රී කාලයේ පැළඳීම සඳහා එක් අත් වැසුම් යුගළයක් ද සුදුසු වේ.

සපත්තු

එවරස්ට් මූලික කඳවුර හෝ වෙනත් ඕනෑම කඳු තරණයක දී ඔබේ අවධානය අනිවාර්‍යයෙන්ම යොමු විය යුතු ශරීරාංගයක් තමයි, ඔබේ දෙපා. මෙහි දී දෙපා ආරක්ෂාව සඳහා සුවපහසු හා නිසි අංග උපාංග වලින් සැඳුම්ලත් සපත්තු යුගලයක් තෝරා ගැනීම හා නිසි පරිදි භාවිතය ඉතාමත් වැදගත්.

නිසි ලෙසින් ඔබේ දෙපා වලට සවි නොවුණු සපත්තු පැළඳීමෙන් දිය බුබුලු ඇති විය හැක.

 Anatomy, Types And How to choose - Hike Brothers


ඒ වගේම තමයි කඳු තරණයට පෙර ඔබ තෝරා ගන්නා පාවහන් යුගළය පැළඳීම මඟින් ඔබේ දෙපයට හුරු කර ගන්න.

කඳු තරණයට සුදුසු සපත්තු /  පාවහන් තෝරා ගැනීමේ දී ඔබට ප්‍රධාන වශයෙන් විකල්ප තුනක් අතුරින් තෝරා ගැනීම කරන්නට පුළුවන්. හයිකින් බූට්ස් (Hiking boots), හයිකින් ෂූස් ( Hiking shoes), හයිකින් සැන්ඩ්ල්ස් (Hiking Sandals) යනු ඒ විකල්ප ත්‍රිත්වයයි.

හයිකින් බූට්ස් තෝරා ගැනීමේ දී ජලය නොරදන , සැහැල්ලු නමුත් ශක්තිමත් සහ හොඳ ඝර්ෂණයක් සහිත අඩියකින් යුතු පාවහන් යුගළක් තෝරා ගැනීමට සැළකිලිමත් විය යුතුය. හයිකින් බූට්ස් වලින්, ඔබගේ වළලුකරට අමතර සහයක් ලබා ගන්නට පුළුවන්. මේ මඟින් දිගු දුර ඇවිදීමේ දී විඩාවට පත් වීමෙන් කකුළ පෙරළීමේ අවධානම අඩු කර ගත හැකිය.

හයිකින් ෂූස් එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යනු එතරම් හොඳ විකල්පයක් නොවේ. නමුත් සවස් කාලයේ දී නවාතැන් ස්ථානය තුළ හා අවට ඇවිදීමේ දී පැළඳීම සඳහා බරින් අඩු සැහැල්ලු හයිකින් ෂූෂ් යුගළයක් හෝ මේස් සමඟ පැළඳිය හැකි හයිකින්ග් සැන්ඩ්ල්ස් යුගළයක් ඔබ සතුව තබා ගැනීම ඉතාමත් ප්‍රායෝගිකයි.

මේස්

කඳු තරණය සඳහා මේස් තෝරා ගැනීමේ දී මේ වෙනුවෙන් ම නිපද වූ මේස් කුට්ටම් තෝරා ගැනීමට සැළකිලිමත් වෙන්න. එම නිශ්පාදන මඟින් ඔබේ දෙපා සපත්තු සමඟ ගැටෙන ස්ථාන හඳුනාගෙන අමතර ආරක්ෂාවක් ලබා දෙනු ලබයි.

මේස් කුට්ටම් 5ක් පමණ රැගෙන යෑමෙන් ඔබට මාරුවෙන් මාරුවට පැළඳීමේ හැකියාව පවති.c

කඳු තරණයේ දී පළඳින මේස් කුට්ටම් වලට අමතර ව රාත්‍රියේ දී සීතලට පැළඳීමට ඝනකම් මේස් කුට්ටමක් ළඟ තබා ගැනීම ද සීතල රාත්‍රීන්හී දී ප්‍රයෝජනවත් වේවී.

කෙණ්ඩා ආවරණයක් - Gaiters

 ඔබේ සපත්තු යුගළයේ විවරයෙන් හිම කැබලි, කුඩා ගල් කැබලි සහ රොඩු ඇතුළු වීම වැළැක්වීමට මේ හොඳ විකල්පයකි. සපත්තුව තුළට ගල් කැබැල්ලක් ඇතුළු වීමෙන් පසුව ගළවා පිරිසිදු කිරීමට වෙන මහන්සියට සාපේක්ෂව ඇතැම් කඳු නඟින්නන් ගේටර් යුගළයක් පැළඳීමට කැමැත්තක් දක්වයි.

Rei.com


ගමන් මල්ල - Backpack

ඔබේ ආම්පන්න ලැයිස්තුවේ තවත් සුවිශේෂී ස්ථානයක් හිමිවිය යුතු අයිතමයක් තමයි බැක් පැක් එක කියන්නේ. සාමාන්‍යයෙන් එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා ලීටර 50 - 60 අතර ප්‍රමාණයක බැක් පැක් එකක් ප්‍රමාණවත්. බැක් පැක් එක විශාල වන්නට වන්නට එය රැගෙන යෑම අපහසු වනවා මෙන්ම අනවශ්‍යය දේ එකතු වීමටත් හැකියාවක් ඇති වේ.

 බැක් පැක් එකක් තෝරා ගැනීමේ දී හොඳ සවි ශක්තිය, භාවිතයේ පහසුවට නිපදවා ඇති පොකට් සහ වෙනත් අංග උපාංග පිළිබඳව සැළකිලිමත් විය යුතු වේ.

 එමෙන්ම ඔබගේ සිරුරට හොඳින් සවි වන නිමාව වගේම නොඳ වැහි ආවරණයක් සහිත වීමත් ඉතාමත් වැදගත්. ඔබේ ප්‍රධාන ගමන් මල්ලට අමතරව ලීටර 15 ක පමණ ගමන් මල්ලක් ඔබ සතුව තබා ගැනීමෙන් නිතර නිතර වුවමනා වන, ජලය සහ කෙටි කෑම වැනි දෑ පහසුවෙන් අසුරා ගැනීමේ හැකියාවත් පවතිනවා.

නිදන මල්ල - Sleeping Bag

රාත්‍රී කාලයේ සීතලෙන් මිඳීමට හොඳම විකල්පය  තමයි නිදන මල්ල. රාත්‍රී නවාතැන් පොළක රාත්‍රිය ගත කිරීම සඳහා නැවතුනත් විශේෂයෙන් ම පාන්දරට දැඩි සීතලක් ඇති වේ. හිමාලය කඳු කරයේ රාත්‍රී කාලයට ඇති වන දැඩි සීතලෙන් ඔබව ආරක්ෂා කළ හැකි තත්වයක හොඳ නිදන මල්ලක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්.

Sleeping advisor.org


කඳු තරණ යෂ්ඨි - Trekking Poles

පුද්ගලික කැමැත්ත මත, ඔබට මේ තෝරා ගැනීම කළ හැක. ඇතැම් කඳු නඟින්නන් පාවිච්චි කිරීමට කැමති අතර ඇතැම් කඳු නඟින්න එය සළකන්නේ අමතර බරක් ලෙසයි.

තෝරා ගැනීමේ දී බරින් අඩු මෙන්ම පහසුවෙන් හොඳින් අසුරා ගැනීම කළ හැකි නිශ්පාදනයක් වෙත අවධානය යොමු කරන්න.

 

අව් කණ්නාඩි

 මුහුදු මට්ටමේ සිට ඉහළට ගමන් කිරීමේ දී ඉතාමත් වැදගත් වේ. වෘත්තීමය උපදෙස් ලබා ගැනීමෙන් පසුව අව් කණ්නාඩියක් මිල දී ගැනීම ඉතාමත් වැදගත් වන අතරම සෑම පැත්තකින් ම ඇස් වලට හොඳ ආවරණයක් ලබා දෙන අව් කණ්නාඩි යුගලක් තෝරා ගන්න.

 

How to Choose Right Sunglasses - Armenian Geographic

ජලය -

 සාමාන්‍යයෙන් ඔබ සතුව සෑම විටම ජලය ලීටර 2ක පමණ ප්‍රමාණයක් ළඟ තබා ගන්න. නිරන්තරව ජලය පානක කිරීම මඟින් විජලනය, හිසරදය මෙන්ම කඳු උණ ඇති වීමේ අවධානම ද අවම කර ගන්නට පුළුවන්. ගමන අතර මඟ දී හමුවන නවාතැන් වල දී ඔබට ජලය පුරවා ගන්නට පුළුවන්.

 

 

ජංගම දුරකථනය

 ගමනේ බොහෝ ස්ථාන සඳහා දුරකථන ජාල සම්බන්ධතාවය නොතිබෙන්නට පුළුවන් නමුත්, ඉක්මන් ඡායාරූපයක් ගැනීම සඳහාත් ජංගම දුරකථනය හොඳ විකල්පයක්. මීට අමතර ව ඔබ නේපාලයෙන් ගොඩ බැසීමෙන් පසුව, නේපාල සිම් පතක් සුදුසු අන්තර්ජාල සම්බන්ධතා ධාරිතාවයක් සමඟ මිල දී ගන්නටත් අමතක කරන්නට එපා.

ජංගම දුරකථනය සඳහා නැවත ආරෝපණය සඳහා වුවමනා කේබලය අමතක නොකරන්නටත්, වැස්සෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආවරණයක් රැගෙන යාමටත් අමතක කරන්නට එපා.

කැමරාවක්

ඔබ වෘත්තීමය ඡායාරූප ශිල්පියෙක් නම් ඔබේ මේ ගමනේ ප්‍රධානම අරමුණක් ලෙසින් හිමාලය කඳු කරයේ ඡායාරූප ගැනීම බව අවිවාධාත්මකයි. ඒ මේ කෙසේ නමුත්, සාමාන්‍යය හොඳ තත්වයක කැමරාවක් ඔබ සතුව තබා ගැනීම මඟින් ගවේෂණයේ රස මුසු තැන් ඡායාරූපයට නඟා ගන්නට පුළුවන් වේවී. ඒ වගේ ම තමයි වුවමනා අමතර බැටරි හා ආරෝපණය කිරීම සඳහා වුවමනා කේබල් හා අනෙකුත් උපකරණ අමතක කරන්නට එපා. ගමන අතර මඟ දී හමුවන නවාතැන් පළහී දී ඔබට මේ සඳහා අවශ්‍යය විදුලිය යම් මිලක් දීමෙන් ලබා ගන්නට පුළුවන්.

එමෙන් ම මේ සියල්ල ඔබගේ ගමන් මල්ලට එකතු කරන බර පිළිබඳව ත් හොඳ අවබෝධයකින් පසු වීම අනිවාර්‍යන්ම කළ යුතු දෙයක්.

 

මුදල් හා ක්‍රෙඩිට් කාඩ්

ගවේෂණය අතර මඟ දී ඔබේ අවශ්‍යතාවයන් සඳහා වියදම් කිරීමට ඔබ සතුව මුදල් තබා ගැනීම අනිවාර්‍යයෙන්ම කළ යුතු දෙයක්. මේ සඳහා නේපාල මුදල් හා ඇමරිකන් ඩොලර් මුදල් යන විකල්පයන් දෙකම සඳහා සූදානම් වී සිටීම වඩාත් සුදුසුය. මෙහි දී මතක තබා ගත යුතු අනෙක් කාරණය නම් විශාල අගයකින් යුතු මුදල් නෝට්ටු වෙනුවට කුඩා අගයකින් යුතු නෝට්ටු ඔබ සන්තකයේ තබා ගන්න. එමෙන්ම ඔබ සතු සියළුම මුදල් එක් ස්ථානයක තැබීමෙන් වළකින්න.

ඉන වටා පැළඳිය හැකි කුඩා මල්ලක ඔබේ ගමන් බලපත්‍රය හා අනෙකුත් අවසර පත් සමඟ යම් කිසි මුදලකුත් තබා ගෙන තවත් ස්ථාන කිහිපයක ඉතිරි මුදල සඟවා තබා ගන්න.

හදිසියකදී භාවිතා කිරීමට ක්‍රෙඩිට් කාඩ් පතක් සන්තකයේ තබා ගැනීමටත් අමතක කරන්නට එපා. නමුත් ගමන් මාර්ගයේ දී ක්‍රෙඩිට් කාඩ්  පත මඟින් ගෙවීම් කළ හැකි ස්ථාන අල්ප විය හැක.

අත්‍යාවශ්‍යය ලියකියවිලි

සාගර්මාතා උද්‍යානයට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍රය සහ කඳු තරණය සඳහා ලබා ගත් අවසර පත්‍රය මෙන්ම ඉහළ කඳු මුඳුන් තරණය ආවරණය කරන හා හෙලිකොප්ටර් යානා මඟින් ගළවා ගැනීමේ මෙහෙයුම් සිඳු කරන රක්ෂණ ආවරණයක් ලබා ගැනීම ඔබ විසින් කළ යුතුයි. අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍යය ලියකියවිලි ඔබ සතුව තබා ගන්න.

ඔබගේ ගමන් බලපත්‍රයත් මේ අතරට එක් විය යුතුයි.

Everest Base Camp Trek Permit -  Magical Nepal

බෙහෙත් හා ප්‍රථාමාධාර

ඔබගේ සෞඛ්‍යය තත්වය හා රෝගාබාධ අනුව ඔබට වුවමනා බෙහෙත් වර්ග ඔබ සතුව සුදුසු ප්‍රමාණයන්ගෙන් ළඟ තබා ගන්න. හදිසි අවස්ථාවක දී ඒ සඳහා ඔබට සහාය වන ආකාරය ඔබ සමඟ ගමන් ගන්නා සඟයෙකු දැනුවත් කර තබන්න.

මීට අමතරව හොඳ ප්‍රථාමාධාර කට්ටලයක් සහ සුළු සුළු ආබාධ සඳහා භාවිතා කළ හැකි බෙහෙත් වර්ග ඔබ සතුව තබා ගැනීමත් කරන්නට පුළුවන්. නමුත් සෑම විටම කඳු තරණය සඳහා ඔබේ මව් රටින් පිට වීමට පෙරාතුව  ඔබේ පවුලේ වෙදතුමා හමු වී ඔහුගේ නිර්දේශය මේ වෙනුවෙන් ලබා ගැනීම වඩාත් ආරක්ෂාකාරී වේ.

 

වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සඳහා වුවමනා දේ - Toiletries

·         ප්‍රමාණයෙන් කුඩා දත් බුරුසුවක්

·         ප්‍රමාණයෙන් කුඩා දන්තාලේප ටියුබයක්

·         මුව සෝදන දියරයක් (Mouth wash)

·         ටොයිලට් පේපර් රෝල් කිහිපයක් (4ක් පමණ )

·         කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය

·         ඇඟ පිස දැමීමට තරමක් විශාල තුවායක් (බරින් අඩු, ඉක්මනින් වියැළෙන, පහසුවෙන් ඇසිරිය හැකි)

·         මුහුණ අත පය  පිස දැමීමට ප්‍රමාණයෙන් කුඩා තුවායක් (බරින් අඩු, ඉක්මනින් වියැළෙන, පහසුවෙන් ඇසිරිය හැකි)

 

මුත්‍රා පුනීලය - Pee Funnel

රාත්‍රී නවාතැන් ස්ථාන සියල්ලක ම ඉතාමත් හොඳ තත්වයේ වැසිකිළි පහසුකම් පවතින නමුත්, රාත්‍රී කාලයේ දී ඇතිවිය හැකි සීතල කාළගුණයත් සමඟ ඔබට ඔබගේ නිදන මල්ලෙන් ඉවත් වී කාමරයෙන් එළියට ගමන් කිරීම තරම ක අරගලයක් විය හැක. නමුත් අධික විඩාවත් සමඟින් නිසි නින්දක් අත්‍යාවශ්‍යය බැවින් නිදි නොලබා වැසිකිළි යෑමේ වුවමනාව කල් දමමින් නිදි වැරීම සුදුසු දෙයක් නොවෙයි. මේ සඳහා මේ විකල්පය ගැහැණු පිරිමි බේදයකින් තොරව භාවිතා කළ හැකි සාර්ථක විසඳුමකි. සහ එකිනෙකාගේ කැමැත්ත අනුව භාවිතා කිරීම හෝ නොකිරීම කරන්නට පුළුවන්.

අත් පිරිසිදු කිරීමේ දියරයක් - Hand Sanitizer

ආහාර ලබා ගැනීමට පෙර ඔබේ දෑත් පිරිසිදු කර ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් ජලය අධික සීතලෙන් යුතු ප්‍රදේශයන් හී දී.

ආහාර

ඔබ විසින් මඟ පෙන්වන සමාගමක සහාය මේ ගමන සඳහා ලබා ගත්තේ නම් ඔවුන් විසින් දවසේ ප්‍රධාන ආහාර වේල් තුන ඔබට ලබා දේ වී. නමුත් වෙහෙසකර මෙම ගමනේ දී වැයවන ශක්තිය නැවත ලබා ගැනීමට ත්, ආහාර වල රසයේ වෙනසක් ලබා ගැනීම සඳහා ශක්ති ජනක ආහාර හා පාන එක්තරා ප්‍රමාණයක් ඔබ ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත්. මෙහි දී ඔබ විසින් භාවිතා කරන් ලද මෙම ආහාරවල අසුරණ නිසි පරිදි ළඟ තබාගෙන නැවත කත්මණ්ඩු නුවර ට පැමිණි පසු නිසි ලෙසින් බැහැර කරන්නටත් අමතක කරන්නට එපා.

 

අලුත් වැඩියා කිරීමේ කට්ටලයක්

සති දෙකක් පමණ පුරාවට දිවෙන මෙම ගවේෂණයේ දී සිඳු විය හැකි සුළු සුළු නඩත්තු කටයුතු සඳහා වුවමනා විය හැකි දේ ඔබ ළඟ තබා ගෙන සිටීම ඉතාමත් වටිනවා. උදාහරණ වශයෙන් බැක් පැක් එකෙහි ඉරුණු පටියක් මසා ගැනීමට සුදුසු නූල් හා ඉඳි කටු, කැඩුණු සපත්තුවක් අලවා ගැනීමට ගම් වර්ගයක්

 

    අනෙකුත් දේ

·         සුදුසු ජල පිරිපහසු ක්‍රමයක් - උදාහරණ Water Purification Tablets

·         ලිප් බාම් - Lip balm (SPF 30 හෝ ඉහළ අගයකින්)

·         සන්ස්ක්‍රීන් -Sunscreen (SPF 30 හෝ ඉහළ අගයකින්)

·         වෙට් වයිප්ස් - Wet wipes

·         පෝටර්බල් චාජරයක් - Portable Charger

·         කියවීමට ඔබ ප්‍රිය කරන පොතක්

·         සටහන් පොතක් සහ පැන්සලක් - පෑන් තීන්ත සමහර අවස්ථාවල දී සීතලත් සමඟින් ඵල රහිත විය හැක.

·         කුඩාඅඟුලක් - ඔබගේ ගමන් මළු ආරක්ෂිත වසා තැබීමට

·         කුඩා වෝටර්පෲෆ් මල්ලක් - ඔබගේ වටිනා ලියවිලි සහ මුදල් වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට

·         බහුකාර්‍යය උපකරණයක් - Multi tool - ගමන අතර තුර විවිධ අවස්ථාවල දී ප්‍රයෝජනවත් විය හැක. කුඩා පිහියක්, කුඩා කතුරක් සහිත

·         විදුලි පන්දමක් - හිසේ පැළඳි‍ය හැකි විදුලි පන්දමක් වඩාත් සුදුසු වේ. එමෙන්ම අමතර බැටරි කිහිපයක් අමතක කරන්නත් එපා.

 

 

හොඳයි, මේ සමඟ අද අපි කතා කළ මාතෘකාවේ අන්තර්ගතය අවසන් වෙනවා.

අපේ මීළඟ ලිපියෙන් එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා ශාරීරිකව හා මානසිකව සූදානම් වීම ගැන කතා කරන්නයි අපේ සූදානම.

ස්තූතියි.

Scan Alpine කණ්ඩායම






 


No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...