Thursday, March 4, 2021

තනිව වන ගත වීම (පළමු කොටස)

 

හොඳයි Scan Alpine පසුගිය සතියේ ලිපියෙන් අප කතා කළා කඳු තරණය සඳහා සුදුසු ආම්පන්න ලැයිස්තුවක් තෝරා ගැනීමේ දී සැළකිලිමත් විය යුතු කරුණු ගැන. ඒ වගේම අප පොරොන්දු වුණා, ඉදිරි ලිපි මඟින් ඒ ඒ අයිතමයන් තෝරා ගැනීමේ දී විශේෂයෙන් සොයා බැලිය යුතු සහ සැළකිලිමත් විය යුතු දේ පිළිබඳව කතා කරන්නට.

ඒ පොරොන්දු ව අපට අමතක නැහැ.

නමුත් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ, මේ දිනවල සමාජයේ බොහොම ප්‍රචලිත මාතෘකාවක් සම්බන්ධවයි.


පසුගිය සති කිහිපය තුළ කඳු තරණය සඳහා සහභාගී වූ කණ්ඩායම් කිහිපයක, සාමාජිකයන් කිහිප දෙනෙකුම, තම කණ්ඩායමෙන් වෙන් ව මඟ වැරදීමෙන් පසුව හමුදා සහ පොලිස් පිරිස් මඟින් සංවිධානය කරන ලද ගළවා ගැනීමේ මෙහෙයුම් මඟින් මහත් පරිශ්‍රමයක් දරා සොයා ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ අතරම ඉතාමත් අවාසනාවන්ත ලෙසින් එක් තරුණයෙකු ප්‍රපාතයකින් ඇඳ වැටී මිය ගොස් තිබුණා. පසු ගිය කාලයේ දකින්නට ලැබුණු අධික මීදුම් තත්වය, දැඩි වර්ෂාපතනය බොහෝ විටින් මේ සිඳු වීම් වලට හේතුව වෙන්නට ඇති. නමුත් අකාලයේ රටට අහිමි වූ තරුණ ජීවිතය නැවතත් ලබා ගන්නට හැකි වෙන්නේ නෑ.


Body of tv staffer recovered from the forest in madulsima - Lankasara Editor English

හොඳයි මේ සියළු කතා බහත් සමඟම සමාජයේ සහ කඳු තරණයට ආදරය කරන ප්‍රජාව අතර ගොඩ නැඟුණ සංවාදයන් අතරින් ප්‍රධාන මාතෘකාවක් තමයි සෝලෝ හයිකින් (Solo Hiking) නැත්නම් තනිව ම කඳු නැඟීම, වන ගත වීමට වර්තමානයේ තරුණ පිරිස් අතර ඇති වී තිබෙන ප්‍රවණතාවය සහ කැමැත්ත.

ශ්‍රී ලංකාව තුළ සාපේක්ෂව අලුත් මාතෘකාවක් වුවත් ලෝකයේ බොහොමයක් රටවල පුද්ගලයන් විනෝදයට හෝ ක්‍රීඩාවක් ලෙසින් කඳු තරණය කිරීමේ දී මේ විකල්පය තෝරා ගන්නවා දකින්නට පුළුවන්. සෝලෝ හයිකින්ග් සඳහා යොමු වීම සඳහා කැමැත්ත සහ හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ කුමන හේතුවක් නිසාවෙන් සෝලෝ හයිකින් කියන විකල්පය තෝරා ගනු ලැබුවත්, සෝලෝ හයිකින්ග් කිරීම මඟින් අයෙකුට ලබා ගත හැකි වාසි පිළිබඳව වෙනත් ලිපියකින් කතා කරන්නර අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම වෙනත් ලිපියකින් සෝලෝ හයිකින්ග් සඳහා යොමු වූවෙකුට උදව් විය හැකි තොරතුරු ගැන කතා කරන්නට ත් අප බලාපොරොත්තු වෙනවා.

අද ලිපියෙන් අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ මාතෘකාව සම්බන්ධයෙන් ආරම්භයක් සහ සෝලෝ හයිකින්ග් කිරීමේ අවාසි සහ සෘණාත්මක කෝණය පිළිබඳවයි.


Solo hiking 1400km through Sweden — A Girls' Guide to Travelling Alone

Solo hiking, කියන ඉංග්‍රීසි වචනයෙන් පැහැදිලිව ම ප්‍රකාශ වන පරිද්දෙන් ම සෝලෝ හයිකින්ග් කියන්නේ තනිවම කඳු තරණය කිරීමයි. සාමාන්‍යයෙන් කණ්ඩායමක් හෝ අවම දෙදෙනෙකු ලෙසින් සිඳු කරනු ලබන කඳු තරණයක් තනිව ම සිඳු කිරීම ලෙසින් සරලව ම සෝලෝ හයිකින්ග් කියන වචනයේ තේරුම ලෙසින් හඳුන්වන්නට පුළුවන්.

ඔබ හොඳින් දන්නා ප්‍රදේශයක පැය කිහිපයක කඳු තරණයක සිට ඔබට ආධුනික ප්‍රදේශයක දින හෝ සති ගණනක් ගතවෙන කඳු තරණයක් දක්වා පුළුල් පරාසයක සෝලෝ හයිකින්ග් දිව යන්නට පුළුවන්.

තනිව කඳු තරණයේ අවාසි සහ සිඳුවිය හැකි අපහසුතා

හදිසි අනතුරක් සිඳු වූ අවස්ථාවක දී

සෑම කඳු තරණයක දී ම ඔබ තනිව හෝ කණ්ඩායමක් වශයෙන් සිටියත් ඔබ එක්තරා ප්‍රමාණයකින් අනතුරු සහිත වටපිටාවකට නිරාවරණය වී සිටිනවා. කණ්ඩායමක් වශයෙන් සිටීමේ දී යම් කිසි හදිසි අවස්ථාවක දී ඔබේ සහායට තවත් පිරිසක් සිටීවී. නමුත් සෝලෝ හයිකින්ග් හී දී හොඳ නරක සියළුම අවස්ථාවන් ට මුහුණ දීමට සිඳු වන්නේ තනිවමයි.

Cowboy camping with Mt Shasta background - Actionpackedtravel.com

මේ අනතුරු නාය යෑම් වැනි ස්වභාවික ව්‍යසනයක් ලෙසින්, මී මැස්සන්, බඹරුන්, වලසුන් වැනි වන සතුන්ගේ මාර්ගයෙන් හෝ පය ලිස්සා වැටීමෙන් පාදයක අස්ථියක් බිඳීමක් ආදී විවිධ ලෙසින් සිඳු වෙන්නට පුළුවන්.

ඒ වගේම තමයි ඔබ ඉතාමත් හොඳ ප්‍රථමාධාරකරුවෙකු විය හැකියි. නමුත් හදිසි අනතුරක දී ඔබ සිහි නැතිවීමකට ලක් වුව හොත් ඔබට උපකාර කිරීමට කිසිවෙකු අසළ නොසිටින්නට පුළුවන්.

හමුදා මෙහෙයුම් වලදී කුඩා කණ්ඩායම් සංයුතිය ලෙසින් 04, 06, 08 ලෙසින් පැවතීමට මෙයත් එක් හේතුවක්. එක් සාමාජිකයේ තුවාල ලද මොහොතක, එක් අයෙකු ඔහු සමඟ ඔහුගේ ආරක්ෂාවට සහ සාත්තුවට සිටිමින් අනෙක් දෙදෙනාට උපකාර සොයා පිටත් වෙන්නට පුළුවන්.

අතරමං වීම

ඉතාමත් පහසු කඳු තරණයක දී වුවත් සුළු මොහොතක ට හෝ මඟ වැරදීම විය හැකි දෙයක්. මෙවන් අවස්ථාවක දී තවත් සඟයෙක් සිටීම ඉතාමත් වාසිදායක වේවි.

 මඟ වැරදීමක් සිඳු වූ  මොහොතක දී කලබල වීම සාමාන්‍යය දෙයක්. ඉතිං එවන් අවස්ථාවක දී ඔබත් සමඟ සඟයෙක් සිටී නම් ඔබ දෙදෙනාට එකිනෙකාගේ කැළඹීම නවත්න්නට පුළුවන්. අනෙක් අතට දෙදෙනෙකු සිටින මොහොතක දී මඟ වැරදීමේ ප්‍රවණාතවයත් අවම වන්නේ, ඔබ වැරදි මඟක් තෝරා ගන්නා මොහොතක ඔබේ සඟයා විසින් එය අවබෝධ කර ගන්නට පුළුවන් නිසයි.

Know what the trail will entail - A guide to solo hiking by Elisha 

අත්‍යාවශ්‍යය උපකරණ හා ද්‍රව්‍යය

 ඔබට සම්පූර්ණ ගවේෂණය සඳහා වුවමනා සියළු දේ ඔබ සමඟ උසුලා ගෙන යෑමට ඔබට සිඳු වේවි. කණ්ඩායමක් සමඟ ගවේෂණය කිරීමේ දී ඒ ඒ කණ්ඩායම් සාමාජිකයන් අතර යම්කිසි බර උපකරණ ප්‍රමාණයක් බෙදා දීමේ හැකියාව පවතිනවා. මෙහි ඇති අනෙක් අනතුරුදායක් බව නම්, උවමනා කරන සියළු දෙය අධික බර නිසා ඔසවා ගෙන යෑමට නොහැකි අවස්ථාවක දී ඔබ විසින් ඒ ඇතැම් දේ රැගෙන නොයෑමට තීරණය කළ හැක. ඉතිං හදිසි අවස්ථාවක දී මේ නිසා ඔබ ඉතාමත් අපහසුතාවයට පත් වෙන්නට පුළුවන්.

 

Know Your Gear & What to Pack - A Woman A foot by Ioanna

 නිසි සූදානමකින් තොර වීම

මේ මාතෘකාව උපකරණ වශයෙන්, කායික වශයෙන් වගේම මානසික වශයෙනුත් බලපානා කාරණාවක්.

කඳු තරණයක් නිසි ලෙසින් ආරක්ෂාකාරීව කිරීම සඳහා විවිධාකාර විෂයන් යටතේ මනා පුහුණුවක් තිබීම අත්‍යාවශ්‍යයයි. උදාහරණ වශයෙන් සිතියම් කියවීම, ගැට වර්ග ගැන අවබෝධය, කෑම පිසීම ආදී කුසලතා දැකිවිය හැකියි. කණ්ඩායමක් සමඟ සිටීමේ දී මේ ඒ ඒ කුසලතා සඳහා දක්ෂයන් ඔබට කණ්ඩායමේ සංයුතියට එකතු කර ගත හැක. නමුත් ඔබ තනිව සිටීමේ දී කොතරම් දුරට ඒ ඒ ගවේෂණය සඳහා වුවමනා කරන කුසලතා සහ පුහුණුව ඔබට තිබේ ද යන්න කල්පනා කර බැලිය යුක්තක්.

S : Stop, T : Think, O : Observe,P :  Plan - A Solo Hiking Adventure By Peter & Felice


ඒ වගේම තමයි
, තනිව කඳු තරණය කිරීමේ දී හෝ කඳවුරු ගත වීමේ දී ඇතැම් විට ඔබට දැඩි පාළුවක් හෝ තනිකමක් ඇති වෙන්නටත් පුළුවන්. තනිවම හුදකලාව කිසිවෙකුත් සමඟ කතා බහ කිරීමකින් තොරව සිටීම ට හුරු නොවූ කෙනෙකුට මේ දැනෙන හුදකලාව දරා ගන්නට අපහසු වේවි.කණ්ඩායමක් සමඟ සිටීමේ දී ඔබේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ හිතවත් වචනයක උණුසුම ඔබට ඉතාමත් හොඳ අස්වැසිල්ලක් වේවි. මීට අමතරව අසීරු අවස්ථාවක ඔබව දිරිමත් කිරීමට හා උපකාර කිරීමට විශ්වාසවන්ත සඟයෙක් සිටීම වාසියක් වේවී.

සොරකම්, පැහැර ගැනීම් සහ තර්ජන

කාන්තා පිරිමි බේදයකින් තොරව ඕනෑම අයෙකුට මේ ආකාරයේ අකරතැබ්බයන් ට මුහුණ දීමට සිඳු වීමට පුළුවන්. මෙහි දී ක්‍රීඩකයෙක් වශයෙන් ඔබත් පැහැදිලිව අවබෝධ කර ගත යුතු දේ නම්, ඔබ ඇතුළු වන්නේ ඔබට ආගන්තුක පරිසරයකට. ඒ ආශ්‍රිත සමාජයේ ආගමික, සාමාජීය කටයුතු සහ විශ්වාසයන්ට ගරු කරමින්, ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බාධාවක් ඇති නොවෙන්නට කටයුතු කිරීමෙන් මෙවන් කරදර බොහොමයක් දුරට අවම කර ගන්නට පුළුවන්.

නමුත් ඔබ කොතරම් හොඳින් හැසිරුණත්, මිනිසුන් අතින් සිඳු විය හැකි හිරිහැර සම්පූර්ණයෙන් ම බැහැර කරන්නට හැකියාවක් නෑ. ඉතිං එවන් අවස්ථාවක දී ඔබ සමඟ තවත් පිරිසක් සිටීමේ දී එසේ හිරිහැර කරන්නට ඉදිරිපත් වන්නා ද දෙවරක් සිතා බලාවි.

First off, don’t ever disclose that you’re alone - A Jaunt with Joy by Joy

හොඳයි ලිපිය ආරම්භයේ දී අපි සඳහන් කළා සෝලෝ හයිකින්ග් ලෝකයේ බොහොමයක් රටවල බොහොම ප්‍රසිද්ධ විකල්පයක් කියලා. එහෙනම් ඇයි ලංකාව තුළ මේ වන විටත් මේ විකල්පය එතරම් ම ජනප්‍රිය නැත්තේ කියන කාරණයට සහ දිගු කාලයක් කඳු තරණයේ නියැළුණු ක්‍රීඩකයන් ලෙසින් මේ විකල්පය තරුණ, ආධුනික ක්‍රීඩකයන් ට අප යෝජනා නොකරන්නේ කියන කාරණයට දිය හැකි පැහැදිලිම සහ සරල ම උත්තරය තමයි, අප රටක් විදිහට ත්‍රාසජනක ක්‍රීඩා සහ ඒ හා ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඒ හා ආශ්‍රිත අනෙකුත් සේවා සැපයීම් සහ රාජ්‍යය අනුග්‍රහය අතින් ගත් කළ අප තවමත් ඉන්නේ බොහොමයක් පසු පසින්.

Emergency contact: World Health Organization Sri Lanka

හදිසි අවස්ථාවක දී ඔබේ සහායට ක්ෂණිකව පිටත් කර යැවිය හැකි කඳුකර පරිසර පද්ධතීන් වල ගළවා ගැනීමේ මෙහෙයුම් කිරීම සහ ප්‍රථමාධාර ලබා දීමට පුහුණුවලත් වෘත්තිකයන් සහ ඒ සඳහාම වෙන්වූ ආයතන සහ හෙලිකොප්ටර් යානා ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඕනෑම ව්‍යසනයක දී හෝ අනතුරක දී ඔබේ පිහිටට සිටින්නේ ශ්‍රී ලංකා පොලිසියේ සහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ අසල්වැසි ගම්වැසියන්. ඉතිං ඔවුන්ගේ එදිනෙදා අනෙකුත් රාජකාරීන් සහ ඔවුන් ස්ථානගත වී සිටින දුර ප්‍රමාණය අනුව ඔබ වෙත උපකාර පැමිණීමේ දී යම්කිසි පමාවක් ඇති වෙන්නට පුළුවන්.

 මේ වගේම තමයි, වෙනත් රටවලට සාපේක්ෂව, ශ්‍රී ලංකාව තුළ තවමත් ත්‍රාසජනක ක්‍රීඩා සඳහා විශේෂ වූ රක්ෂණ ආවරණයන් හී හිඟයක් පවතින ලෙසක් දකින්නට පුළුවන්. ඉතිං හදිසි අනතුරක දී හොඳ ශක්තිමත් රක්ෂණ සමාගමක හොඳ රක්ෂණ ආවරණයක් නොමැතිව ඔබගේ අනාගතය සම්පූර්ණයන් ම අඳුරු වන්නට ත් පුළුවන්.

 අනෙක් කරුණ තමයි, නිසි පුහුණුවකින් හා අවබෝධයකින් තොරව රැල්ලට යමින් ඔබ කරන්නට සූදානම් වන ගවේෂණය ඔබව ගළවා ගැනීමට හෝ ඔබට උපකාර කිරීමට පැමිණෙන අයවලුන්ගේ ජීවිතත් අනතුරකර දැමීමක් විය හැඛි බව තරයේ සිහි තබා ගන්න.

 

Courtesy photo - CHRIS TOWNSEND

ඉතිං අදට මේ ලිපිය අවසන් කරන්නයි මේ සූදානම.

ඉතිං අප විශ්වාස කරනවා අපේ මෙවර ලිපියත් සමඟ, බොහෝ දෙනා කතා කරන සෝලෝ හයිකින්ග් ගැන සහ ඒ හා බැඳි අවාසි සහ අනතුරු ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඉතිං ඒ අවබෝධයත් එක්කම අපි ලබන සතියේ ලිපියෙන් හමුවෙමු සෝලෝ හයිකින්ග් වල තිබෙන වාසි සහ ධනාත්මක පසුබිම පිළිබඳව.

සටහන: නදීශ දිලුම් දිසානායක


Scan Alpine කණ්ඩායම

 






No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...