Monday, March 15, 2021

සෝලෝ හයිකින් වාසි සහ ධනාත්මක පසුබිම

 සුබ දවසක් හැම දෙනාටම!!!

හොඳයි Scan Alpine පසුගිය සතියේ ලිපියෙන් අප කතා කළා අපි සෝලෝ හයිකින්ග් කියන කඳු නැඟීමේ එක්තර ප්‍රබේධයක් පිළිබඳව කතා කරන්නර ආරම්භයක් ගත්තා. පසුගිය සතියෙන් අපි කතා කළේ සෝලෝ හයිකින්ග් වල දී තිබෙන අවාසි සහ අනතුරු පිළිබඳව.

ඉතිං අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සෝලෝ හයිකින්ග් නම් ප්‍රබේධයේ තිබෙන වාසි සහ ධනාත්මක පසුබිම පිළිබඳව යි.

දෙවන කොටස - සෝලෝ හයිකින්ග් වාසි සහ ධනාත්මක පසුබිම


ඕනෑම දෙයක නරක පැත්තක් තිබෙනවා වාගේම හොඳ පැත්තකුත් ස්වභාවිකව ම පවතිනවා.

අප පසු ගිය සතියේ දී කතා කළ අනතුරු සහ අවාසි මෙන් ම සෝලෝ හයිකින්ග් මඟින් ක්‍රීඩකයෙකුට ලැබිය හැකි වාසි සහ ධනාත්මක පසුබිමකුත් තිබෙනවා.

නමුත් තරයේ මතක  තබා ගතයුතු කාරණය නම්, මේ සියළු දේ රදා පවතින්නේ මේ අභ්‍යාසයේ යෙදෙන පුද්ගලයාගේ පුහුණුව, විනය, පෙර සූදානම සහ දෙයක් නිසි ලෙසින් තේරුම් ගැනීමේ ශක්තිය සහ තවත් බොහොමයක් කාරණා අනුව බවයි. නිසි ලෙසින් දියත් නොකරන ලද සෝලෝ හයික් එකකින් ඔබත් අනතුරට ලක් වී ඔබ ව ගළවා ගැනීමට පැමිණෙන කණ්ඩායම් පවා අනතුරුදායක තත්වයකට පත් වෙන්නට පුළුවන්.

හොඳයි මොනවද අපි මේ කතා කරන වාසි

තමා අතට තම අතමය සෙවනැල්ල

Solo Trekking in Nepal Complete Guide in 2019 

කඳු තරණයට තියෙන ඇල්ම එහෙමත් නැත්නම් "ගාය" හැමෝටම නෑ. එහෙම ගායක් තියෙන යාළුවෙක් හොයා ගන්න තියෙන අපහසුව කන්දක් නඟින්න යන්න කතා කරලා බෑ කියපු යාළුවෝ ගානයි, එන්නම් කියලා අන්තිම මොහොතේ මඟ ඇරිය යාළුවෝ ප්‍රමාණයයි ඇත්තටම  කන්ද නඟින්න යන්න ආව ප්‍රමාණයයි ගත්තම අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. ඇත්ත නේද!

ඉතිං ඔබත් සෝලෝ හයිකින්ග් වලට යොමු වූ අයෙක් නම්, තවත් පිරිසකගේ කාල සටහන් මත යැපීමකින් තොරව ඔබට කැමති දිනයක නිසි ලෙසින් ඔබේ කඳු තරණය කරන්නට පුළුවන්.

තමන් කැමති තැනක් තෝරා ගැනීමේ හැකියාව

This American Girl Sri Lanka - This American Girl

කණ්ඩායමක් සමඟ කඳු තරණයක් සැළසුම් කිරීමේ දී සියළු දෙනාටම පහසු දිනයක් තෝරා ගැනීමේ දී වගේම සියළු දෙනාගේ ම කැමැත්ත ඇති කන්දක් තෝරා ගැනීමට, කණ්ඩායමේ සියළු දෙනාගේ ම හැකියාවන් ට ගැළපෙන කන්දක් තෝරා ගැනීමත් බොහෝ විට දින ගණනක් ගතවෙන වැඩක්. ඒ වගේම තමයි ගමනාගමනය වෙනුවෙන් පොදු ප්‍රවාහනය යොදා ගන්නවා ද, වෑන් රථයක් කුළියට ගන්නවා ද ආදී කාරණා ද බොහොමයක් දුරට වේලාව ගත වෙන කටයුතු.

 

ඉතිං තනිව කඳු තරණයේ දී මේ කී නොකී සියළු කාරණාවල සම්පූර්ණ තීරණය ගැනීමේ හැකියාව ඔබ සතු වෙනවා. නමුත් ඔබේ ගමනේ සැලසුම් පිළිබඳව ඔබේ මිතුරෙකු දැණුවත් කර තිබීම ඉතාමත් වැදගත් වන බවත් අමතක කරන්නට එපා.

ඔබේ දැනුම වර්ධනය වීම

තනිව කඳු තරණයේ දී ඔබේ සහායට කිසිවෙකුත් ඔබ අසල  නැහැ. ඔබ දැනටමත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙනවා සෝලෝ හයිකින්ග් වල ඇති අවාසි පිළිබඳව කතා කළ අපේ පෙර ලිපියෙන්. නමුත් කඳු තරණයක දී එහි සාර්ථක බව වෙනුවෙන් විවිධාකාර කුසලතා සහ දැනුම් සම්භාරයක් දායක වෙනවා. ඔබ කණ්ඩායමක් සමඟ නම්, කුසලතා රැසකින් යුතු පිරිසක් එකතු වීමෙන් මේ අරමුණ සාර්ථක වෙනවා. නමුත් තනිව කඳු තරණයේ දී ඔබ විසින් මේ සියළු කුසලතාවයන් ප්‍රගුණ කළ යුතු වෙනවා. එසේ නොකිරීමෙන් සම්පූර්ණ කඳු තරණය අසාර්ථක එකක් වන්නට පුළුවන් වගේම සම්පූර්ණයෙන් ම අනාරක්ෂිත එකක් වන්නටත් පුළුවන්.

ඔබේ වේගය - ඔබේ පහසුව - ඔබේ තීරණ       

 


කඳු තරණය කරන බොහොමයක් දෙනා කරන චෝදනාවක් තමයි "අපෝ අරයා යනවා වේගය වැඩී" එහෙමත් නැත්නම් "එයා කඳු නඟිනවා නෙමෙයි බඩ ගානවා" කියන කාරණා.

ස්වභාව ධර්මයත් සමඟ ගැඹුරින් එක්කාසු වෙන කඳු තරණ ක්‍රීඩකයන් තමන්ට වගේම අනෙක් සියළු දෙනාටමත් ගෞරව කරන්නටත්, එකිනෙකාගේ අඩු පාඩු හා නොහැකියාවන් පිළිබඳව මැදහත් සිතින් සිතන්නටත්, ඉවසන්නටත් පුරුදු විය යුතුයි.

නමුත් ප්‍රායෝගිකව, කණ්ඩායමක් ලෙසින් කඳු තරණයේ දී එකිනෙකාගේ වේගයන් එකිනෙකට වෙනස්.

ඔබ විසින් කළ යුතු වන්නේ කණ්ඩායමේ වේගයෙන් අඩුම ක්‍රීඩකයාගේ වේගයට සරිලන සාමාන්‍යය වේගයක් සම්පූර්ණ ගමනේ දී ම පවත්වා ගැනීමයි. නමුත් අඩු වේගයකින් ගමන් කරන අයෙකුට, වැඩි වේගයකින් ගමන් කිරීමේ දී වෙහෙස දැනෙනවා මෙන්ම, වේගතව්ත් ක්‍රීඩකයන් ට මෙසේ අඩු වේගයකින් ගමන් කිරීමේ දී වෙහෙස දැනෙනවා වැඩි බව ඇත්ත.

ඉතිං මේ සඳහා හොඳ විසඳුමක් තමයි තනිව කඳු තරණය. ඔබට නිදහසේ ඔබේ වේගයෙන් ගමන් කිරීමටත්, සුදුසු පරිදි අවශ්‍යය ස්ථානයන් හී දී විවේක ගැනීමටත්, ඔබ කැමැති ආරක්ෂිත තැනක කඳවුරු බැඳීමටත් හැකියාව පවතිනවා.

කණ්ඩායමක් ලෙසින් තීරණ ගැනීමේ දී කිහිප දෙනෙක්ගේ අදහස් ඒ සඳහා දායක වන බැවින් ඒ තීරණයන් වැරදී යෑමේ සම්භාවිතාවය සාපේක්ෂව අඩු බවත් අමතක නොකළ යුතුයි.

 ආත්ම ශක්තිය වර්ධනය

A 40+ solo hiker - Ioanna (A Woman Afoot)

කඳු තරණය ආත්ම ශක්තිය වර්ධනය කිරීම උදෙසා මහඟු ක්‍රීඩාවක්. අසීරුවෙන් කඳු මුදුනක් කරා ළඟා වීමෙන් පසු ඔබට දැනෙන තෘප්තිය සහා ඔබේ හැකියාවන්, දරා ගැනීම් පිළිබඳව ඇතිවෙන අභිමානය සහ විශ්වාසය අති මහත්. ඇතැම් විට ඔබට මේ සඳහා ඔබේ සඟයන් ඔබ දිරිමත් කරන්නට ඇති, නැත්නම් ඔබේ බැක් පැක් එක මඳ දුරක් ඔබ වෙනුවෙන් ඔසවා ගෙන යන්නට ඇති. නමුත් අවසානයේ දී ඔබ ඔබේ අරමුණ කරා ළඟා වුණා.

 සෝලෝ හයිකින්ග් එකක දී මේ ලැබෙන ආත්ම විශ්වාසය ඊටත් ඉහළ අගයක් වෙනවා. මොකද ඔබේ ඉලක්කය කරා යන්නට ඔබට ඉන්නේ ඔබම පමණයි. ඉතිං සාර්ථක කඳු තරණයක් අවශානයේ දී ඔබ ඇත්තටම ලබා ගෙන තිබෙන්නේ විශාල ජයග්‍රහණයක්.

වටපිටාව රස විඳින්න

Ditch your friends and try solo camping - Britany Robinson

අපි කඳු නඟින්න යන්නේ ඇයි? ඇඟ මහන්සි කරන්න විතරද? කන්ද මුඳුනට ගිය විට දැනෙන ආත්ම තෘප්තිය නිසා විතර ද? ඒ මේ සියළු දේ වගේම තමයි, අවට පරිසරයේ සුන්දරත්වය විඳීමත් අපේ එක අරමුණක්. ඡායාරූප ශිල්පීන්, ගස්, වැල්, මල් ගැන ආසා සහ ඒ ගැන සොයන්නන්, සතුන් කුරුල්ලන් ගැන හදාරන්නන් ආදී විවිධාකාර පුද්ගලයන් කඳු තරණයන් සඳහා එකතු වෙනවා.

ඉතිං කණ්ඩායමක් වශයෙන්, විශේෂයෙන් එකම විෂය සම්බන්ධයෙන් කැමැත්තක් නැති පුද්ගලයන්ගේ එකතුවකින් සැඳුණු කණ්ඩාමක දී එකිනෙකාගේ අවශ්‍යතාවය වෙනුවෙන් නැවතී සිටීමට තවත් අයෙක් දක්වන්නේ අඩු කැමැත්තක්.

නමුත් තනිව කඳු තරණයේ දී තමන්ගේ වේගයට කඳු නැඟීම කරන අතරම, තමන් ඡායාරූපයට නඟා නැඟීමට සෑහෙන කාලයක සිට ආසාවෙන් බලා සිටි පක්ෂියෙකුගේ ඉරියව්වන් හොඳින් හදාරමින්, තමන්ගේ සිතැඟි පරිද්දෙන් ඡායාරූපකරණයේ යෙඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව විශාල කණ්ඩායම් වශයෙන් කඳු තරණය කිරීමේ දී ඇතිවන ශබ්දය නිසා ඔබට කුරුල්ලන් සහ වන සතුන් නැරඹීමේ හැකියාවත් සාපේක්ෂව විශාල ලෙසින් නැති වී යන්නට පුළුවන්.

මානසික නිදහස

Solo camping : Pexels

වර්තමාන සමාජය සහ එහි ජීවත් වන අප සියලු දෙනාම වේගවත් තරඟයක හිර වෙමින් තමයි අපේ එදිනෙදා ජීවිතය ගත කරන්නේ. කඳු නඟින්නන් කඳු නැඟීම සඳහා පිටත් වීමට තවත් එක් හේතුවක් තමයි, මේ විඩාබර දින චර්යාවෙන් මිඳී හිත නිස්කලංක කර ගැනීමත්, ජීවිතයට මොහොතක ඉස්පාසුවක් ලබා ගන්නටත්.

ඉතිං තනිව කඳු නැඟීම තෝරා ගැනීමේ දී ඔබට මේ සොයන නිදහස සිත් සේ ලබා ගන්නට පුළුවන්.

වගකීමක් දැරීමට ඉගෙනීම

Risk, comfort and wild camping - Honey Woods Events

සෑම කණ්ඩායමක දීම සම්පූර්ණ කණ්ඩායම වෙනුවෙන් සියළු බර දරා ගනිමින්, ගමන සැළසුම් කිරීමේ සිට සියළුම පහසුකම් සූදානම් කිරීම හා කණ්ඩායම ආරක්ෂිතව නැවත සිය නිවෙස් වෙත රැගෙන ඒම දක්වා බර කරට ගන්නා සාමාජිකයෙක් දෙන්නෙක් සිටිනවා. එවන් බොහොයමක් අවස්ථාවල දී අනෙක් සාමාජිකයන් විසින් වගකීම් විරහිතව හැසිරෙන්නේ තම සඟයා පිළිබඳව විශ්වාසය තබමින්.

නමුත් තනිව කඳු තරණයේ දී ඒ මේ සියළු දෙය පිළිබඳව වගකීම දරමින්, සියළු දෙයම සූදානම් කර ගනිමින්, ආරකෂිතව කඳු තරණය කිරීමේ වගකීම දරන්නට සිඳු වන්නේ කඳු තරණ ක්‍රීඩකයාටමයි.

පරිසරයට සිඳු වන හානිය අවම වීම

Dos and don'ts of camping - The Morning LK


විශාල කණ්ඩායමක් ලෙසින් වනාන්තර වලට ඇතුල්වීමේ තවත් ගැටළුවක් තමයි, එමඟින් පරිසරයට සිඳුවන හානිය. කණ්ඩායම් නායකයා, සේවා සපයන්නා හෝ මඟ පෙන්වන්න්නා කොතරම් උපදෙස් ලබා දුන්නත්,  කණ්ඩායමේ අනික් සාමාජිකයන් එම උපදෙස් කොතරම් දුරකට පිළිපඳිමින් පරිසරයට වන හානිය අවම කිරීමට ත්, පරිසරය ආරක්ෂා කිරීමටත් කටයුතු කරන්නේ ද යන්න විවාදාත්මකයි.

කණ්ඩායමක් වනාන්තරයක ගමන් කිරීමේ දී ගමන් මාර්ගය තව දුරටත් පළල් වීම, ශබ්ද දූෂණය, පොලිතින්, ප්ලාස්ටික් ආදී කසළ පරිසරයට මුද හැරීම ආදී ගැටළු ඇති විය හැකියි.

නමුත් තනිව කඳු තරණයේ දී මෙසේ පරිසර පද්ධතියකට සිඳු විය හැකි හානිය ඉතාමත් අවම වේ.

ඉතිං අදට මේ ලිපිය අවසන් කරන්නයි මේ සූදානම.

සෝලෝ හයිකින්ග් කිරීම හෝ නොකිරීම ස්ව කැමැත්තෙන් සිඳු කළ යුතු දෙයක් වගේම, මේ ලිපිය කිසිම ආකාරයකින් සෝලෝ හයිකින්ග් ජනප්‍රිය කිරීම හෝ ප්‍රචලිත කිරීම අරඹයා ලියන ලද්දක් නොවන බවත්, සෝලෝ හයිකින්ග් කිරීම හෝ හයිකින්ග් කිරීම මඟින් සිඳුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් මේ ලියන්නා හෝ ඔහු පෙනී සිටින සමානගම හෝ වග නොකියන බවත් අවසානයට ලියා තැබිය යුතු වෙනවා. මොකද සෑම දෙයක් ම රදා පවතින්නේ ඒ භාවිතා කරන්නා කෙතරම් දුරට නිසි  ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින්, ක්‍රීඩාවේ නියැළෙනවා ද යන්න මතයි.

ඉතිං නැවතත්, සෝලෝ හයිකින්ග් ලෝකයේ බොහොම ජනප්‍රිය කඳු නැඟීමේ ප්‍රබේධයක් බව ඇත්ත. නමුත් විදේශ රටවල කඳු තරණය සහ සමස්තයක් ලෙසින්, සියළු ත්‍රාසජනක ක්‍රීඩාවන්ට ලබා දී ඇති අනුග්‍රහයන් අල්ප බවත් සහ හදිසි අවස්ථාවක දී ගළවා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට ඇති පහසුම් අවම බවත් මතක තබා ගන්න.

සෝලෝ හයික් එකක් සැළසුම් කිරීමේ දී ඔබ විසින් සැළකිළිමත් විය යුතු කරුණු පිළිබඳව ලබන සතියේ ලිපියෙන් අපි කතා කරමු.


සටහන: නදීශ දිලුම් දිසානායක


Scan Alpine කණ්ඩායම




 

No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...