Thursday, February 18, 2021

එවරස්ට් මූලික කන්ද තරණයේ ගමන් මඟ

සුබ දවසක්!

Scan Alpine පසුගිය ලිපියෙන් අපි කතා කළා එවරස්ට් මූලික කඳවුර තරණයේ දී හමුවන අභියෝග පිළිබඳ ව කතා කළා.

එවරස්ට් මූලික කඳවුර 
ඡායාරූපයඇවිදින්නෝ 2016 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය


අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ මූලික කඳවුර තරණයේ ගමන් මාර්ගය පිළිබඳව. ඒ කියන්නේ ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත් වූ මොහොතේ සිට එවරස්ට් මූලික කඳවුර වෙත ගමන් ගන්නා තෙක් පියවරෙන් පියවර ගමනාන්තයන් පිළිබඳව යි. මේ සඳහා ඔබ මුලින්ම කරන්න වුවමනා දේ තමයි, ඉතාමත් හොඳින් මේ ගමන පිළිබඳව විස්තර හොයා බැලීමක් කරන එක. ඒ අනුව, ඔබට ආරක්ෂාකාරීව හා සාර්ථකව මේ අභියෝගය ඉටු කර ගැනීමට වුවමනා කරන මුදල, කාලය, පුහුණුව හා අනෙකුත් සම්පත් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.

හොඳයි, ඔබ මුහුණ දෙන පළමු අභියෝගය තමයි ශ්‍රී ලංකාවේ සිට නේපාලය දක්වා පියාසර කිරීම.

වර්ත්මානයේ දී ශ්‍රී ලංකාවේ සිට නේපාලය වෙත එකවර පියාසර කිරීමට ගුවන් වාර නැති නමුත් අසල් වැසි ඉන්දියාව හරහා නේපාලය වෙත ළඟ විය හැක.

මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා.. ඒ ඒ ක්‍රමය වෙනුවෙන් වැය වන කාලය, මුදල වගේම ඒ ඒ ක්‍රමයේ වාසි හා අවාසි තිබෙනවා.

පළමු ක්‍රමය තමයි, ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පියාසර කර, එතැන් පටන් දුම් රියෙන් ඉන්දියානු - නේපාල දේශ සීමාව දක්වා ගමන් කිරීම. මේ දුම් රිය ගමන සඳහා සාමාන්‍යයෙන් දින තුනක පමණ කාලයක් වැය වෙනවා. පා ගමනින් දේශ සීමාව පසු කිරීමෙන් පසුව, නේපාලයේ කත්මණ්ඩු අග නුවර තෙක් වාහනයක් කුළියට ගැනීම කරන්නට පුළුවන්.

Tibet train by Explore Tibet


සාපේක්ෂව ඉතාමත් මිලෙන් අඩු ක්‍රමයක් වුණත්, අවාසි විදියට ගත්තොත් දුම් රිය ගමන සඳහා අධික ලෙසින් කාලය වැය වීම, දින තුනක කාලයක් තුළ දුම් රිය තුළ විඩාවට පත් වීම වගේම ආහාර හා ජලය නිසි ලෙසින් ඝෝචර නොවීමෙන් ඇතිවිය හැකි පාචන තත්වයන් හඳුන් වන්න පුළුවන්.

ඒ වගේම තමයි වක්‍රාකාරව ගමන් මළු අස්ථාන ගතවීම්, වෙනත් මඟීන් ගේ තාඩන පීඩන වලට නිරාවරණය වීම වගේ දේවල් දක්වන්න පුළුවන්. අසල්වැසි ඉන්දියාවේ බොහොමයක් දෙනා ශ්‍රී ලාංකික අපිට බොහොම මිත්‍රශීලී නමුත්, අල්ප වූ කොටසක් ශ්‍රී ලංකාකිකයන් කෙරෙහි දක්වන්නේ එතරම් මිත්‍රශ්‍රීලී ආකල්පයක් නොවෙයි. ඉතිං නොදැනුවත් කම නිසා මේ වැරදි ආකලප්යක ගොදුරක් නොවීමට ප්‍රවේශම් වෙන්න.

දෙවන ක්‍රමය තමයි, ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ නව දිල්ලි ගුවන් තොට වෙත පියාසර කර එහි සිට, නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටු පළ වෙත වෙනත් ගුවන් යානයකින් ගමන් කිරීම.

සාපේක්ෂව මිලෙන් වැඩි වුණත්, විශේෂයෙන් ම ඔබ ගමන් කරන්නේ සීමිත කාල රාමුවක නම් මේ ඉතාමත් හොඳ විකල්පයක්. ඒ වගේම තමයි, වඩාත් ආරක්ෂාකාරීව ගමන් කිරීමටත්, ආහාර පාන ආදිය නිසි ලෙසින්, පිරිසිදුව ලබා ගන්නටත් පුළුවන්.

මේ මොන ක්‍රමය යටතේ ගමන් කළත්, ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය, ගුවන් ටිකට් පත වගේම නිසි කාණ්ඩයෙන් වීසා ලබා ගැනීමටත් අමතක කරන්නට එපා. ඒ වගේම අනෙක් කාරණය තමයි සංචාරක රක්ෂණයක් ලබා ගෙන තිබීමත් ඉතාමත් වැදගත්.

 

කත්මණ්ඩු නගරයට ළඟා වීමෙන් පසුව ඔබටත් තවත් විකල්පයන් දෙකක් තිබෙනවා.

පළමු ක්‍රමය වන්නේ කත්මණ්ඩු නුවර සිට, ලුක්ලා ගුවන් තොටුපළ වෙත අභ්‍යන්තර ගුවන් ගමනකින් පියාසර කිරීමයි. මේ සඳහා සාමාන්‍යයෙන් විනාඩි 40 ක පමණ කාලයක් වැය වෙන නමුත් සමහර අවස්ථාවල දී අයහාපත් කාළගුණික තත්වයන් හේතුවෙන් ගුවන් ගමන් කල් දැමීමත් සිඳු විය හැකියි.

ඡායාරූපයආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය


කළින් ලිපියකිනුත් අපි කතා කළ මේ ලුක්ලා ගුවන්තොට පිහිටා තිබෙන්නේ එවරස්ට් මූලික කඳවුර කරා යොමුවන  ගමන් මගේ ආරම්භයේ.

අනෙක් ක්‍රමය නම්, කත්මණ්ඩු සිට ජීරී (Jiri) (මීටර 1951) නම් ගම්මානය හරහා ලුක්ලා වෙත බස් රථයකින් හා පා ගමනින් ගමන් කිරීමයි. මේ සඳහා සාමාන්‍යයෙන් දින 5 ක් පමණ ගත වෙන නමුත්, වියදිම අතින් ලාබදායි ක්‍රමයක් වෙනවා වගේම, මුහුදු මට්ටමේ සිට එක්වර වැඩි උසකට පියාසර කර ගොඩ බැසීමේ ක්‍රමයට වැඩියෙන්, ඔබගේ සිරුර නිසි ලෙසින් පරිසරයට අනුගත කර ගැනීම සඳහා ද ඉතාමත් හොඳ විකල්පයකි. විශේෂයෙන් එවරස්ට් කඳු මුඳුන කරා ගවේෂණයේ යෙදෙන්නන්, මේ මාර්ගය තෝරා ගනී.

හොඳයි, ඉහත සඳහන් කුමන විකල්පයක් තෝරා ගත්තත් ඔබ ගමන් මඟ ආරම්භ වන්නේ ලුක්ලා සිටයි. මෙහි දී තවත් තෝරා ගැනීමක් ඔබට කරන්නට වෙනවා. ඒ තමයි, මේ සම්පූර්ණ ගමන සඳහා ඔබ කොපමණ කාලයක්, එහෙමත් නැත්නම් දින ගණනක් යොදා ගන්නවා ද කියන කාරණය.

ලුක්ලා සිට එවරස්ට් මූලික කඳවුර තෙක් ගමන් කර ආපසු ලුක්ලා තෙක් ගමන් මඟ දළ වශයෙන් කිලෝ මීටර 130 ක් පමණ වේ.

හොඳයි, එවරස්ට් මූලික කඳවුර තරණයේ දී මුලින් ම අපි බලන්න ඕනේ අපිට මේ සඳහා වැ‍ය කරන්න පුළුවන් කාලය හා මුදල කොපමණද කියන කාරණය. මුහුදු මට්ටමේ සිට ඉහළට ගමන් කිරීමේ දී ඒ හා සමඟ ම ආහාර, නවාතැන් හා අනෙකුත් පහසුකම් වල මිල ගණන් ද ඉතාමත් අහළ අගයක් ගනී. මේ සඳහා ප්‍රායෝගික හේතුව ලෙසින් ඒ ඒ ස්ථාන වලට, එම ද්‍රව්‍යය ගෙන යෑමට එම කඳුකර වැසියන්ට දැරීමට සිඳු වූ මහන්සිය දක්වන්න පුළුවන්.

ඉතිං මේ කාරණය නිසා, කඳු පන්තිය ආශ්‍රිත ව වැය කරන කාලය අඩු වන තරම ට ඔබේ සාක්කුවට වාසිදායක යි.

නමුත් අනෙක් පසින් ගත් කළ, අප පසු ගිය ලිපියකින් කතා කළ පරිද්දෙන්, මේ කඳු පන්තිය ආශ්‍රිතව පවතින අපහසුතා (උදාහරණ: සීතල, හුස්ම ගැනීමේ අපහසුතා, කඳු උණ ) නිසා ඔබේ ශරීරයට ලබා දිය යුතු නිසි විවේකය අනිවාර්‍යැයෙන් ම ලබා දිය යුතු වෙනවා. උදාහරණයක් ලෙසින්, මෙම ගමන් මඟෙහි එක් එක් ස්ථානයන් හී දී ඔබ අනිවාර්‍යෙන් ම අවම දිනක විවේකයක් වත් ලබා ගත යුතු ස්ථාන කිහිපයක් තිබෙනවා.

මේ ක්‍රියාව සරල ව හඳුන්වන්නේ “Climb high – sleep low ”ලෙසින්. එනම් දිවා කාලයේ දී ඔබ මුහුදු මට්ටමෙන් එක්තරා උසකට ගමන් කළ පසු, රාත්‍රියේ දී  නින්ද සඳහා මඳක් පහත ස්ථානයක නවාතැන් ගැනීමයි. මේ මඟින් ඔබගේ විඩාපත් සිරුරට නිසි ලෙසින් ඒ උන්නතාංශයට අනුකූල වන්නට කාලය ලැබෙනවා. වැඩි වේගයෙන් ගමන් කිරීම මඟින් ඔබේ සිරුරට එම පාරිසරික වෙනස් වීම් දරා ගන්නට නොහැකි වීම මඟින් ජීවිත හානි පවා ඇති විය හැක.

 

Climb high – sleep low 

ඔබගේ මුදල් තත්වය වගේම ඔබගේ ශාරිරික තත්වයත් මෙසේ ඔබ කඳු තරණය සඳහා වැය කරන කාලය, එහෙමත් නැත්නම් දින ගණන තීරණය කිරීමේ දී ඉතාමත් වැදගත් වෙනවා. කටුක පාරිසරික තත්වයන් හා කාළගුණික තත්වයන් යටතේ සිඳු කරන මෙම ගමන නිසි ලෙසින් බාහිර ක්‍රියාකාරකම් වලට හුරු නොවූ, නිතිපතා ව්‍යායාම නොකරන අයෙකුට ඉතාමත් අපහසු කටයුත්තක් වේවි.

සාමාන්‍යයෙන් දින 10 සිට 18 දක්වා කාල පරාසයක් එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන්නන් තෝරා ගන්නවා. මේ දින ගණනට මූලික කඳවුර දක්වා ගමන, අතර මඟ විවේක ගන්නා දින හා ආපසු පැමිණීම සඳහා වැය වන දින ද ඇතුළත් වෙනවා.

ඔබගේ ප්‍රධාන දින සැළස්මට අමතරව, තවත්  අමතර දින කිහිපයක් වැඩි කර ගැනීමට උත්සාහා කරන්න.  ඒ දින කිහිපය හොඳින් විවේක ගැනීමට සහ නොසිතූ යම්කිසි අකරතැබ්බයකට ඔබට මුහුණ දීමට සිඳු වුව හොත්, ඒ සඳහා මේ අමතර දින කිහිපය ඉතාමත් වැදගත් වේවී.

අපේ අද ලිපිය සඳහා මම තෝරා ගත්තේ දින 15 ක ගමන් සැළැස්මක්.

පළමු දිනය

කත්මණ්ඩු කරා ළඟා වීම  (මීටර  1,400/ අඩි 4,593)

One can take the daily flight to Lukla from Kathmandu.

ගුවනින් කත්මණ්ඩු වෙත ළඟා වීමෙන් පසුව ඔබට දවසේ ඉතිරි කොටස විවේක ගැනීමටත්, අනෙකුත් සූදානම් වීමේ කටයුතු සඳහාත් පාවිච්චි කරන්නට පුළුවන්. මේ නිසා හැකිතාක් දුරට පෙර දින රාත්‍රියේ දී ඔබගේ ගුවන් ගමන්  යොදා  ගැනීමෙන් වටිනා කාලය ඉතුරු කර ගන්නට පුළුවන්.

කඳු තරණය සඳහා වුවමනා කරන උපකරණ, ඇඳුම් පැළඳුම් මිල දී ගැනීමට හෝ කුළියට ගැනීමට මෙන්ම, මේ ගවේෂණය සඳහා ඉතාමත් වැදගත් වන රක්ෂණ සහතිකයක් ලබා ගැනීමට ත් ඔබට මේ දවස ප්‍රයෝජනය ට ගන්නට පුළුවන්.

මීට අමතර ව ඔබ විසින් නේපාල ජාතික හෝ විදේශීය සංචාරක සේවා සපයන ආයතනයක සේවය ලබා ගත්තේ නම් එම නියෝජිතයන් හමු වී ඔබගේ ඉදිරි දින කිහිපය නිසි ලෙස සැළසුම් කර ගැනීමට පුළුවන්.

දෙවන දිනය

Kathmandu සිට Lukla (මීටර  2,860/ අඩි 9,383) – Phakding (මීටර  2,610/ අඩි 8,562) 

Phakding we12travel "the-trail-to-everest-base-camp-day-1 by Antonette 


කත්මණ්ඩු අගනුවර සිට අභ්‍යන්තර ගුවන් යානයක් මඟින් ඔබට විනාඩි 40 ක පමණ කාලයකින් ලුක්ලා ගුවන් තොට වෙත ළඟා විය හැක.

උදෑසනම දවස ආරම්භ කිරීම මඟින් ඔබට එදින ම ඔබේ මීළඟ නැවතුම වන Phakding, වෙත හදිසියකින් තොරව ළඟා විය හැක. පරිසරයට නිසි ලෙසින් අනුගත වීම උදෙසා පළමු දින ගමන සාපේක්ෂව දිගින් අඩුවේ. නැවතුම් හා ගිමන් නිවීම් අත හැර ගත් කළ සාමාන්‍යයෙන් පැය 4 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.

 තෙවන දිනය

Phakding සිට Namche Bazaar (මීටර  3,440 / අඩි 11,286 ): 

දෙවන දින හොඳ විවේකයකින් හා සුව නින්දකින් පසුව තෙවන දින උදෑසනම ගමන ආරම්භ කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම දේශගුණික වෙනස්වීම් හා උන්නතාංශයේ සිඳු වූ වෙනස්වීම් නිසා ඇතැමෙකු ට සුව නින්දක් නොලැබී තිබෙන්නටත් පුළුවන්. නමුත් හැකි ඉක්මනින් මේ පරිසරයට හුරු වීම ඔබේ වාසියට හේතු වේවි.

Phakding සිට Namche Bazaar දක්වා යෙදී ඇති ගමන තරමක් අභියෝගාත්මක වන්නේ පළමු දිනට සාපේක්ෂව වැඩි කාලයක් වැය වන නිසා වගේම ගමන් මඟ තරමක් ආනතියක් ගන්නා බැවිනි. සාමාන්‍යයෙන් පැය 5-6 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.

සිව්වන දිනය

Namche Bazaar: අනිවාර්‍යය විවේකී දිනය

ගමන් මාර්ගයේ නවාතැන් පළක් (Tea house):
ඡායාරූපයආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය


බසාර් යන්නෙහි සරල සිංහල තේරුම නම් වෙළඳ පොළ යන්නයි. වචනයේ තේරුම වගේම එවරස්ට් මූලික කඳවුරු තරණයේ දී හමුවන ප්‍රධානතම ගම්මානය වන්නේ Namche යි.

මෙම විවේකී දිනය ඔබට හොඳ නින්දක් ලබා ගැනීමට අමතරව, ගම්මානයේ අවට ඇවිදීමට, ඇති කඩ සාප්පු වලින් ඔබට අවශ්‍යය දෙයක් මිලදී ගැනීමට වගේ දෙයකට වැය කරන්න පුළුවන්.

ඒ වගේම තමයි ගමන් මාර්ගයේ දී ඔබට පළමු වරට එවර්ස්ට් කඳු මුඳුන දකින්නට අවස්ථාව ලැබෙන්නේත් Namche Bazaar දීයි.

මෙම අනිවාර්‍යය විවේකී දිනයේ අරමුණ වන්නේ ඔබේ සිරුර මේ අලුත් පරිසරයට අනුගත කිරීම බව අමතක කරන්නට එපා. පෙර දින ගමන් විඩාව නිසා මුළු දවසම ඔබේ නවාතැනට වී කාලය ගත කිරීමෙන් ඒ අරමුණ නිසි පරිදි ඉෂ්ඨ නොවේ.


පස්වන දිනය

Namche සිට Tengboche (මීටර  3,860/ අඩි 12,664)

Namche bazaar Nepal - Audley Travel


 ෂර්පා ගම්මානයක්:
ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය  

Namche සිට Tengboche මෙම ගමනට සාමාන්‍යයෙන් පැය 4-5 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.

නේපාල ෂර්පා ප්‍රඡාවට අයත් ටිබෙට් බෞද්ධ ආරාමයක් වන Tengboche Monastery පිහිටා තිබෙන්නේ ද මේ  ගම්මානයේ යි. එවරස්ට් කඳු මුඳුන තරණය කරන්නන්, මෙම ආරාමය වන්දනාමාන කිරමින් ආරක්ෂාකාරී හා සාර්ථක කඳු තරණයක් සඳහා ආශිර්වාද ලබා ගැනීම සිඳු කරයි.

 

හය වන දිනය

Tengboche සිට Dingboche (මීටර  4,410/ අඩි 11,468)

Tengboche ආරාමය ඉදිරිපස:
ඡායාරූපයආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය


Tengboche සිට Dingboche ගමන ද සාපේක්ෂව වැඩි කාලයක් ගතවන ගමන් මඟකින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පැය 5-6 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ. මෙම ගම්මානයට සුන්දර Ama Dablam කඳු මුඳුන ඉතාමත් පැහැදිලිව දර්ශනය කරන්නට පුළුවන්.

හත්වන දිනය

Dingboche අනිවාර්‍යය විවේකී දිනය

Namche හි ඔබ ගත කළ විවේකී දිනය Dingboche හී දීද ඔබේ විවේකී දිනය ඵලදායී ලෙස ගත කරන්නට ඔබට පුළුවන්. උදාහරණයකට සුන්දර දර්ශන වලින් පොහොසත් Chhukung නිම්නයේ ඇවිදීමට යෑම හොඳ විකල්පයක්. නමුත් Namche හි මෙන් මෙම ගම්මානයේ කඩ සාප්පු බහුල නැත.

අට වන දිනය

Dingboche සිට Duglha-Lobuche (මීටර  4,940 / අඩි 16,108): 

සාමාන්‍යයෙන් පැය 5-6 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.

මේ වන විට ඔබ යම් කාලයක් ඉහළ උන්නතාංශයේ ගත කර තිබෙනවා. ඒ හා සාපේක්ෂව තෙහෙට්ටුව, ආහාර අරුචිය, නිසි ලෙසින් නින්ද නොයෑම ආදිය ද අත්දකින්නට විය හැකියි. ඒ වගේම පරිසරයේ වඩාත් සීතල තත්වයක් ඔබට දැනේවී.

Lobuche බලා ගමන් ගන්නා මාර්ගයේ දී එදා මෙදා තුර එවරස්ට් හා අනෙකුත් කඳු මුඳුන් තරණයේ දී මිය ගිය ෂර්පාවරුන් හා බටහිර කඳු නඟින්නන් සිහිපත් කිරීම වෙනුවෙන් ගල් මඟින් ඉදි කර තිබෙන සිහිවටන රාශියක් ඔබට දකින්නට පුළුවන්. මෙම ප්‍රදේශය කඳු නඟින්නන් අතර Chukpilhara නමින් ප්‍රසිද්ධියක් උසුලයි.

නව වන දිනය

Lobuche, Gorak Shep (මීටර  5,164/ අඩි 16,942) සිට Kalapatter (මීටර  5,545/ අඩි 18,192)

Approaching Gorak Shep: theroadtoanywhere.com


Lobuche සිට Gorak Shep හරහා ළඟ විය යුතු Kalapatter (මීටර  5,545/ අඩි 18,192) කඳු මුඳුන එවරස්ට් කඳු මුඳුන මනස්කාන්තම ලෙසින් දර්ශනය කළ හැකි ස්ථානය ලෙසින් ප්‍රසිද්ධියක් උසුලයි.

සාමාන්‍යයෙන් පැය 5-6 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.එමෙන්ම රාත්‍රී නවාතැන් ගැනීම සඳහා ඔබට නැවතත් Gorak Shep වෙත ළඟා වීමට සිඳු වේ.

 

 

දහ වන දිනය

Gorak Shep සිට EBC (මීටර  5,364 / අඩි 17,598)

Gorak Shep සිට එවරස්ට් මූලික කඳවුර තරණය කරන දහවන දිනය, ඔබගේ උත්සාහයේ හා කැපකිරීමේ ප්‍රතිඵල ලැබෙන දිනයයි. ඔබගේ කැමරා ආම්පන්න නිසි ලෙසින් සූදානම් කර තබා ගන්නත් අමතක කරන්නට එපා.

සාර්ථක ගමනක අවසානයේ දී එදිනම සුදුසු විවේකයක් ලබා ගැනීමෙන් පසුව Lobuche හෝ Pheriche වෙත නැවත පැමිණීම කළ යුතු වෙනවා.

සාමාන්‍යයෙන් පැය 5-6 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.

එකොළොස්වන දිනය

Pheriche සිට Namche Bazaar: 5-6 hour

ඔබ එවරස්ට් මූලික කඳවුර කරා ගමන් කළ මාර්ගයෙන් ම නැවත ආපසු පැමිණීම දැන් සිඳු වෙනවා. පළමු වරට එම ප්‍රදේශයන් පසු කිරීමේ දී ඔබට මඟ හැරුණු විශේෂ ස්ථාන තිබේ නම්,මේ ඒ සඳහා හොඳම අවස්ථාවක්. සාමාන්‍යයෙන් පැය 5-6 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.

දොළොස්වන දිනය

Namche Bazaar සිට Phakding සිට Lukla: 

මේ සම්පූර්ණ ගමනේ ම දීර්ඝත ම දිනයක් ලෙසින් හැඳින්විය හැක. නමුත් සාර්ථක ගවේෂණය ක සිතුවිලි ඔබගේ විඩාව සුළු වශයෙන් හෝ දුරු කරාවි. සාමාන්‍යයෙන් පැය 7-8 ක පමණ කාලයක් ඔබට ගමනේ යෙදීමට සිඳු වේ.


Lukla වෙත පැමිණීමෙන් පසුව හොඳ විවේකයක්, නින්දක්, ඔබ ආසා කරන කෑමක්, ඒවගේම ඔබගේ විඩාපත් දෙපා සඳහා හොඳ පාද සම්භාහනයක් වුවත් කර ගැනීමට මේ හොඳ අවස්ථාවක්.

දහතුන් වන දිනය

Lukla සිට Kathmandu

අභ්‍යන්තර ගුවන් ගමනකින් උදෑසනම Lukla සිට Kathmandu කරා ළඟා වීමට ඔබට පුළුවන්. පසු දින නැවත ඔබගේ මව් රට බලා පිටත් වීමට පෙර, දවසේ ඉතිරි කොටස කත්මණ්ඩු නගරයේ ඇවිදීමට, ඔබගේ ප්‍රියයන් වෙනුවෙන් යමක් මිල දී ගැනීමට කාලය වෙන් කිරීමට ඔබට පුළුවන්.

 

දහ හතරවන දිනය

නැවත මව් රට බලා පිටත් වීම

පහ ළොස්වන දිනය

හදිසි අවස්ථාවක් සඳහා අතිරික්ත දිනය.

 

හොඳයි අපි අද කතා කළේ එවරස්ට් මූලික කඳවුර තරණයේ ගමන් මාර්ගයේ විස්තරය. අප විශ්වාස කරනවා ඔබටත් දැන් එවරස්ට් මූලික කඳවුර තරණය පිළිබඳව දළ අදහසක් ලැබෙන්නට ඇතැයි කියා.

නමුත් මතක තබා ගන්නට වුවමනා ප්‍රධානම කාරණය නම්, අප මේ සඳහන් කරන්නට යෙදුණේ ආකෘතික ගමන් සැළස්මක් පමණයි. ඔබගේ පුහුණුව, අත්දැකීම් මට්ටම, සෞඛ්‍යය මට්ටම, වැය කළ හැකි දින ගණන, හා වැය කළ හැකි මුදල ආදී තවත් බොහොමයක් දේ මත මේ ගමන් විස්තරය වෙනස් වෙනවා වගේම වෙනස් කළ යුතු වෙනවා. මේ නිසා හැම විටම, මේ සඳහා වෘත්තීමය වශයෙන් මෙවන් ගවේෂණයන් සංවිධානය කරන ආයතන හරහා නිසි උපදෙස් ලබා ගැනීම සිඳු කරන්න.

අපේ මීළඟ ලිපියෙන් එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා අවශ්‍යය වන ආම්පන්න ලැයිස්තුවත් සමඟින් හමු වෙමු.

ස්තූතියි.

Scan Alpine කණ්ඩායම

 

දත්ත: විකිපීඩියා වෙබ් අඩවියෙන්

 

·         ඡායාරූප අංක 01:  ෂර්පා ගම්මානයක් (ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 02: ලුක්ලා ගුවන් තොටුපළ හා අභ්‍යන්තර ගුවන් ගමන් යානයක් (Domestic flight) (ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 03: ගමන් මාර්ගයේ නවාතැන් පළක් (Tea house)(ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 04: Tengboche ආරාමය ඉදිරිපස (ඡායාරූපය: ආනන්ද විද්‍යාලයීය 2007 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ඡායාරූප අංක 05: එවරස්ට් මූලික කඳවුර (ඡායාරූපය: ඇවිදින්නෝ 2016 එවරස්ට් මූලික කඳවුර ගවේෂණය)

·         ‍ ඡායාරූප අංක 05: එවරස්ට් මූලික කඳවුර සිතියමක් (ඡායාරූපය: අන්තර්ජාලයෙන් )

No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...