Tuesday, February 16, 2021

කඳු තරණයට පෙර සූදානම - දෙවන කොටස

 

අවධානම ට පෙර සූදානම “ - දෙවන කොටස

සුබ දවසක් හැම දෙනාටම!!!

හොඳයි පසුගිය සතියේ ලිපියෙන් අපි මේ මාතෘකාව පිළිබඳව හඳුන්වාදීමක් කළා. ඒ වගේම මේ මොහොතේ දී ඔබට මේ මාතෘකාව පිළිබඳව ඇති අවබෝධය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට පුංචි ප්‍රශ්න කිහිපයකටත් උත්තර දුන්නා.

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව ගැනම තවත් ටිකක් සවිස්තරාත්මකව.

අපි විශ්වාස කරනවා මේ මොහොත වනවිට ඔබට හොඳ අවබෝධයක් ඇති, කන්දක් නඟින්න යනවා නම් ඒ ඉසව්ව වෙනුවෙන් ඇත්තට ම අපි ඒ වෙනුවෙන් සූදානම් වීම කළ යුතුව තියෙන්නේ ඒ සඳහා යම් කාලයකට පෙරාතුව ඉඳන් කියන කාරණය.

අපි පිළිවෙළින් එකින් එක කාරණා ගැන කතා කරමු.

  •         මුලින්ම ඔබ කරන්න ඕනෑ දේ තමයි තමන්ගේ ශරීර සෞඛයය පිළිබඳව අවධානය යොමු කරන එක.


The hobo guide to staying fit on the road - Luke McConaghey

මෑතකදී සිඳු වූ හදිසි අනතුරක් හෝ රෝගාබාධායක් ඇත්නම් ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න. මේ සඳහා හොඳම දේ තමයි දොස්තර මහත්තයෙක් ව මුණ ගැසිලා තමන්ගේ වත්මන් ශරීර සෞඛයය පිළිබඳව සුදුසු පරීක්ෂණයකට මුහුණ දීමෙන් වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න එක. කඳු තරණය අතර මැදදී ඔබට යම් අපහසුතාවයක් ඇති වුවහොත්, එය ඔබට වගේම ඔබේ කණ්ඩායමේ ආරක්ෂාවට වගේම විනෝදයටත් බාධාවක්.

උදාහරණය කර සීතල හිමාලය කඳු වැටිය ආශ්‍රිත සෑම කඳු තරණ අභ්‍යාසයකට ම පෙර, ඉන් මාස කිහිපයකට පෙර සිට අපේ සාමාජිකයන් දන්ත වයිද්‍යයවරයෙක් මුණ ගැසී නිසි ප්‍රතිකාර හා අවශ්‍යය පිරවීම්, දත් ගැළවීම් සිඳු කර ගන්නවා.

·         ඔබගේ ශාරීරික යෝග්‍යයතාවය හා අනෙකුත් සාධක මත වඩාත් අසීරුතාවයෙන් යුතු නොවන එක් දින කඳු තරණයක් තෝරා ගන්න.

https://trekkingtripsinsrilanka.com/

ඔබ කඳු තරණයට අලුතින් ම එක්වන ක්‍රීඩකයෙක් නම්, ඔබේ තෝරා ගැනීම් බොහොම කල්පනාවෙන් කළ යුතුවෙනවා. උදාහරණයකට ශ්‍රී ලාංකික තරණ ප්‍රජාව අතර බොහොම ජනප්‍රිය කඳු තරණ ගමනාන්තයක් තමයි සප්ත කන්‍යා කඳු වැටිය. ඉතාමත් අසීරු හා අභියෝගවලින් පිරුණු ගමනක්. ඉතිං මුහුණු පොතේ ඡායාරූප දුටු පමණින් හෝ ඔබේ හොඳම මිත්‍රයෙක් ඒ ගමන් ගිය පමණින් එක් වරම එවන් අසීරු ගමනාන්තයක් තෝරා ගැනීම නුවණට හුරු නෑ.

හිමින් හිමින් ඔබේ සිරුරට දරා ගත හැකි මට්ටම් පිළිබඳව අවබෝධයක් ලැබෙන තුරු, ඔබට මේ ක්‍රීඩාව පිළිබඳව හොඳ දැනුමක් හා අත්දැකීමක් ලැබෙන තුරු සාමාන්‍යය මට්ටමේ කඳු තරණයන්ගේ සිට ක්‍රම ක්‍රමයෙන් අසීරු කඳු තරණයන් දක්වා පිවිසෙන්න.

එමඟින් එම ඉසව්වේ දී ඔබගේ සීමාවන් පිළිබඳව වඩාත් ප්‍රායෝගික ඇඟයීමක් කළ හැක. ඒ අනුව ඔබගේ ඉදිරි ඉසව් සැළසුම් කර ගැනීමේ හැකියාව ඔබට ලැබේ.

නිතර කඳු නැඟීම සඳහා එක්වන ඔබේ මිතුරන්ගෙන් අසා දැන ගැනීමට පුළුවන් වගේම, බ්ලොග් අඩවි, වෙඩ් අඩවි පරිශීලණය කිරීම මඟින් ඔබට විස්තර දැන ගැනීම කරන්නට පුළුවන්.

·         හොඳින් සැළසුම් කර සූදානම් වෙන්න

REI How to Plan a Mountaineering Trip -  REI Co-op

මේ උප මාතෘකාව බොහොම වැදගත් එකක්.

උදාහරණයක් වශයෙන්, ඔබ තෝරා ගන්නා කඳු තරණය සඳහා වඩාත් ම සුදුසු මාසයන් මොනවාද කියන කාරණය ඉතාමත් වැදගත්. ලංකාව වගේ ඉතාමත් කුඩා රටක වුවත් එක් එක් ප්‍රදේශයන් වලට වර්ෂාව ලැබෙන නොලැබෙන කාලයන් වෙනස්. ඒ වගේම තමයි, සමහර මාසවල දී ඒ ඒ කඳු මුඳුන් හා වනාන්තර ආශ්‍රිතව ජීවත් වන වන සතුන්ගේ චර්යා රටාවන් වෙනස් වෙනවා වගේම තමයි, කඳු හා වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන ජනයාගේත් විවිධ ආගමික හා සංස්කෘතික උත්සව තිබෙනවා. බොහෝ විට එවන් කාලයන් මඟ හැරීම තමයි වඩාත් ම සුදුසු වෙන්නෙ.

ඒ වගේම වාහනයක් මඟින් ගමන් කළ යුතු කාලය හා යා හැකි ආසන්නතම ස්ථානය, ඔබ තෝරා ගන්නේ පොදු ප්‍රවාහන සේවය නම් ඒ සඳහා ඔබට ඇති විකල්ප ඔබේ ගමනට පෙර සොයා දැන ගැනීම ඉතාම වැදගත්.

ගමන සම්පූර්ණ කිරීමට දළ වශයෙන් නිර්දේශිත කාල රාමූන් පිළිබඳව පැහැදිලි හා හොඳ අවබෝධයක් තිබීමත් ඉතාමත් වැදගත් වන්නේ ඔබේ සියළුම සූදානම් වීම් සිඳු කළ යුතු වන්නේ ඒ මත පදනම් වී ගෙනයි. (උදාහරණ ලෙස, ඇඳුම්, ආහාර පාන, කූඩාරම් ආදිය )

ඔබ කඳු තරණය සඳහා තෝරා ගත් දිනය ආසන්න වත්ම ඔබ දන්නා කියන එම ප්‍රදේශයේ ජීවත් වන අයෙකු හෝ, ග්‍රාම සේවා නිළදාරියෙකු මඟින්, හෝ ආසන්නතම පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දීම මඟින් ඒ දිනවල කාළගුණික තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. යම්කිසි හෙයකින් අනාරක්ෂිත, තත්වයක් ඇති වී තිබේ නම් ඔබේ ගවේෂණය මඳක් කල් දැමීම වඩාත් ආරක්ෂිතයි.

·         නිසි අවසරයන් ලබා ගැනීම

Ministry of Sustainable Development and Wildlife

ශ්‍රී ලංකාවේ බොහොමයක් වනාන්තර හා කඳුකර පද්ධතීන් ස්වභාවික රක්ෂිත, එහෙමත් නැත්නම් පුරාවිද්‍යාත්මක වශයෙන් සංවේදී / අධි සංවේදී ප්‍රදේශ. ඉතිං ඒ ඒ පරිසර පද්ධතිය බාරව කටයුතු කරන රජයේ හෝ පුද්ගලික අංශයේ නිසි අවසරය ලබා ගැනීම වගේම නිසි ලෙසින් ඔවුන්ව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.

නිසි අවසරයකින් තොරව සූදානම් කරන කඳු තරණයක් මඟින් ඔබත් ඔබේ කණ්ඩායමත් නීතියේ රැහැනට ලක් වීමේ හැකියාවක් පවා පවතී.

මීට අමතර ව ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානයට, පන්සලට, ග්‍රාම සේවා නිළධාරීතුමාට දුරකථන පණිවිඩයක් මඟින් හෝ අවශ්‍යය අවස්ථාවල දී ලිපියක් මඟින් ලිඛිතව හෝ දැනුම් දීමක් කිරීම ඉතාමත් වටිනවා. පිටරට වලට සාපේක්ෂව කඳු තරණය තවමත් ක්‍රීඩාවක් ලෙසින් හෝ විනෝදාංශයක් ලෙසින් තවත් අප රටේ පාලන තන්ත්‍රය තුළ ප්‍රචලිත වී නොමැති වීම නිසා බොහෝ විට කඳු තරණය සඳහා වනාන්තර පද්ධතියකට ඇතුළු වන්නන් සැළකෙන්නේ යම් කිසි නීති විරෝධී ක්‍රියාවකට සූදානම් වන කණ්ඩායමක් ලෙසින්. ඉතිං මේ අනවබෝධයන් මඟ හැර ගැනීමට හොඳම ක්‍රමය තමයි අදාළ පාර්ශව නිසි පරිදි දැණුවත් කිරීම. එමඟින් ඔවුන්ගේ සහයෝගය පවා ඔබට ලබා ගැනීමට හැකි අවස්ථා තිබෙනවා.

මීට අමතර ව, වර්තමානයේ දී කොරෝනා වසංගතයත් සමඟ ඔබ ගමන් කරන්නට බලාපොරොත්තු වන ප්‍රදේශයේ මහජන් සෞඛ්‍යය නිළධාරීතුමා නිසි පරිදි දැණුවත් කිරීමත්, ඔහුගෙන් තොරතුරු විමසීමටත් අමතක කරන්නට එපා.

·        ඔබගේ ගමන සඳහා විශ්වාසන්ත හා අත්දැකීම් සහිත සඟයන් කිහිප දෙනෙක් එකතු කර ගන්න. නැත්නම් වගකීම් සහිත සේවා සපයන්නෙකුගේ සහාය ලබා ගන්න.

Dilum Dissanayake @TraveldudeSriLanka

මේ සෑම අවස්ථාවක දීම ඔබගේ වර්තමාන රෝගී තත්වයන් හෝ ශාරීරික සීමාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න. ඔබගේ පුද්ගලික බෙහෙත් වර්ග රැගෙන යන්න. හදිසි අවස්ථාවක් දී භාවිතය සඳහා එම බෙහෙත් ඔබගේ ගමන් මල්ලේ ගබඩා කර ඇති ස්ථානය හා නිවැරදි මාත්‍රාවන් පිළිබඳව ඔබගේ සඟයන් දැනුවත් කරන්න.

කණ්ඩායමක් වශයෙන් කඳු තරණයේ යෙදීම වඩාත් විනෝදජනකයි, ඒ වගේම වඩාත් ආරක්ෂාකාරීයි. මොකද කණ්ඩායමක් කියන්නේ හැකියාවන් නොහැකියාවන් රාශියකින් එකතු වුණු පිරිසකට. ඔබට හොඳින් සිතියම් හා මාලිමාව පරිහරණයට හැකියාව තිබෙන්නට පුළුවන්. නමුත් යාවත්කාලීන් වූ ප්‍රථමාධාර පුහුණුවක් නොතිබෙන්නට පුළුවන්. ඉතිං ඔබේ කණ්ඩායමේ තවත් සඟයෙකු ප්‍රථමාධාර පුහුණුව මඟින් ඉහළම තැනක ඉන්නට පුළුවන්. මේ මඟින් කණ්ඩායමේ සංයුතිය සමබර වෙනවා.

ඒ වගේම සමහර පරිසර පද්ධතීන් තුළට විශාල කණ්ඩායම් ලෙස ගමන් කිරීම එම පරිසරයට විශාල හානියක් ගෙන දෙනබව අමතක කරන්න එපා.

·         සුදුසු ආම්පන්න තෝරා ගැනීම.

Dilum Dissanayake @TraveldudeSriLanka


වර්තමානයේ සුලබව දකින්නට ඇති දෙයක් තමයි ආම්පන්න විශාල ප්‍රමාණයක් ගොඩ ගසා ගැනීමට ඇති කැමැත්ත. නමුත් කඳු තරණයක දී ඔබට මේ සියල්ල රැගෙන කඳු මුඳුනට යාමට සිඳු වන බව මතක තබා ගන්න.

ඒ ඒ කඳු තරණයට, කඳවුරු ගත වීමට ගැළපෙන පරිදි ඔබේ ආම්පන්න, උපකරණ හා ඇඳුම් සූදානම් කරගන්න. පිටස්තරයන් ට පෙන්වීම උදෙසා ඔබේ ගමන් මල්ලේ බර අනවශ්‍යය ද්‍රව්‍යය වලින් පුරවා නොගන්න.

නමුත් ආහාර, ජලය, ප්‍රථමාධාර කට්ටලයක්, කෙටි කෑම, විදුලි පන්දමක්, කුඩා පිහියක් වැනි දෑ වලින් සන්නද්ධ වෙන්න. අපි මේ මාතෘකාව පිළිබඳව පුළුල්ලව වෙනම ලිපියකින් කතා කරන්නට බලා පොරොත්තු වෙනවා.

ඔබේ කණ්ඩායමේ ප්‍රමාණයට, ඔබේ කඳු තරණයේ ස්වභාවයට මේ දේ වල සුදුසු වෙනස් කම් කර ගැනීමට සිඳු වෙනවා. ඒ වගේම සුදුසු ඇඳුමින් හා පැළඳුමින් සැරසීමටත් අමතක කරන්නට එපා.

 ·         ඔබගේ ගමන පිළිබඳව හා නැවත පැමිණීමට බලාපොරොත්තු වන කාල රාමුව පිළිබඳව පවුලේ හිතවතෙකු දැනුවත් කරන්න.

what not to do on your first solo camping adventure - www.gore-tex.com/blog

මේ සඳහා සුදුසුම ක්‍රමය තමයි ඔබගේ ගමන් සැළසුම ඔබේ විශ්වාසවන්ත මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට දැනුම් දීම.

ඔබගේ ගමනාන්තය, නැවත පැමිණීමට බලාපොරොත්තු වන දිනය, ඔබගේ ගමනාගමනය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තුවන මාධ්‍යය, ඔබගේ ගමන් සඟයන්ගේ විස්තර හා ඔවුන්ගේ පවුලේ විස්තර ආදිය හදිසි අවස්ථාවක දී ඉතාමත් ප්‍රයෝජනවත් වේවී. වර්තමාන තරුණ ප්‍රජාව සිඳු මඟ හරිනු ලබන තවත් එක් යහපත් පුරුද්දක් ලෙසින් මෙය හැඳින්විය හැක.

  • කිසිම අවස්ථාවක වනාන්තරය අවතක්සේරු කිරීමෙන් සහ ඔබේ හැකියාවන් අධි තක්සේරු කිරීමෙන් වළකින්න.

තමන්ගේ හැකියාවන් පිළිබඳව අධි තක්සේරුව හා තමන්ගේ ගමනාන්තය පිළිබඳව අවතක්සේරුව, අනතුරුවලට මූලිකව ම හේතුවක්.

  • ඔබගේ උපකරණ මනා පරිහරණයට පුරුදු වන්න. එමෙන්ම සම්පත් (උදා: ජලය, ආහාරානිසි පරිදි කළමනාකරණයට හුරු වන්න.
Food planning for mountaineering - www.alpineascents.com

මෙමඟින් නාස්තිය අවම වී වඩා දිගු කාලයක් ඔබගේ උපකරණ වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

·         සුදුසු සේවා සපයන්නෙකුගේ සේවය ලබා ගන්න


Edmund Hillary (left) and guide Tenzing Norgay were the first men to summit Mount Everest

ඔබ කඳු තරණයට අලුත් නම්, කඳු තරණය කරන, අත්දැකීම් සහිත මිතුරන් ඔබට මේ මොහොතේ නැත්නම් වඩාත් ම සුදුසු විකල්පය තමයි වගකීම් සහිත, මඟ පෙන්වන්නෙකු හෝ සේවා සපයන ආයතනයක සහාය ලබා ගන්න. 

·         පරිසරයට ආදරය කරන්න.

Leave no trace camping


අපද්‍රව්‍යය පරිසරයට මුදා දැමීමෙන් වළකින්න. පරිසරයේ සුන්දරත්වය ඔබ වින්දාසේම මතු පරම්පරාවටත් දායක කිරීමට ඔබේ දායකත්වය දක්වන්න. ඔබගේ හැකියාව අනුව පරිසරයේ අත හැර දමා තිබෙන කුණු සෞඛ්‍යය ආරක්ෂිතව එකතු කර නිසි ලෙසින්, සුදුසු ස්ථානයකට බැහැර කරන්න.

අලුත් ක්‍රීඩාවකට අලුතෙන් ම යොමුවෙන ඔබ, ඒ ආරම්භය වගකීම් සහිතව කරන්නට පුරුදු වන්න. වගකීම් සහිත කඳු නඟින්නෙක් වන්න.

·          රාජකාරි ස්ථානයේ කටයුතු හා නිවසේ කටයුතු නිසි පරිදි සිඳු කර අවසන් කරන්න.

කඳු තරණය සඳහා නිවාඩු ලබා ගැනීමේ දී, ඔබ විසින් සිඳු කළ යුතු රාජකාරී හා වගකීම් නිසි පරිදි අවසන් කර, ඔබේ රාජකාරි සඟයන් අතර නිසි ලෙසින් අවශ්‍යය වැඩකටයුතු බෙදා දෙන්න. ඔබේ දුරකථනය මඟින් ඔබව සම්බන්ධ කර ගැනීමට අපහසු විය හැකිබව ද ඔවුන් ව දැණුවත් කර තබන්න.

ඔබේ නිවසින් පිට වීමේ දී, නිවසේ සුරතල් සතුන්, විදුලි උපකරණ ආදිය පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබ විසින් ගෙවිය යුතු බිල්පත්, මව්පියන් වෙනුවෙන් ගැනැවිත් දිය යුතු බෙහෙත් ද්‍රව්‍යය, ඔබේ බිරිඳ, දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු යුතුකම් සොයා බලා නිසි ලෙසින් ඉටු කරන්න.

ඔබ විනෝද වීමට සූදානමින් පිටත් වෙන මේ කඳු තරණය නිරවුල් මනසකින් හා සතුටින් විඳීමට මෙමඟින් ඔබට හැකියාව ලැබීවි.

·         පසුවිපරුම

Stock image


හොඳයි ඔබේ පළමු කඳු තරණයට ඔබ දැන් ඉන්නේ එක් පියවරක දුරකින්. සුබ පැතුම්. ඔබ විසින් කළ කැපකිරීම් හා නිසි අධ්‍යයනයන් වෙනුවෙන් අපේ ප්‍රණාමය පිළිගන්න. නමුත් මේ එක් පියවර ඔබේ අනෙකුත් සියළුම සූදානම් වීම් හා සමානව ම ඉතාමත් වැදගත්.

අවසරපත්, ප්‍රවේශපත්, ආම්පන්න සියල්ල, , ප්‍රථමාධාර කට්ටලයේ සමන්විතයන්, ජංගම දුරකථනයේ බැටරි තත්වය, විදුලි පන්දම් සඳහා අමතර බැටරි ආදී මෙකී, නොකී සියළු දේ එකින් එක, පියවරින් පියවර පරීක්ෂා කරන්න. නැත්නම් බොහොමයක් විට, අවසාන මොහොතේ දී ඇති කලබලය නිසාවෙන් හෝ ගමන පිළිබඳව ඇති කුල්මත් බව නිසා ඔබට අමතක විය හැකි හෝ අතහැරිය හැකි දේ තිබෙන්නට පුළුවන්.

යමක් නිසි ලෙසින් කිරීම පහසු නැති නමුත්, දිගු කාලයක්, ආරක්ෂිතව මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නම් නිවැරදි තාක්ෂණය හා නිවැරදි දේ කිරීම ඉතාමත් වැදගත් බව අමතක කරන්න ත් එපා කියන ඉල්ලීමත් Scan Alpine අපි මේ මොහොතේ කරන්නට කැමතියි.

ඉතිං අදට මේ ලිපිය අවසන් කරන්නයි මේ සූදානම. අපේ මීළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ කඳු තරණ අභ්‍යාසයක දී උවමනා වන ආම්පන්න හා උපකරණ පිළිබඳවයි.

 

සටහන: නදීශ දිලුම් දිසානායක
Scan Alpine කණ්ඩායම

·         ඡායාරූප අංක 05:  කණ්ඩායමේ සාමාජිකයන් දිය ඇල්ලක දිය නාමින් විනෝදවන අතර තුර, කණ්ඩායම් නායකයා විමසිල්ලෙන් සහ සූදානමින්. (ඡායාරූපය: දිලුම් දිසානායක)

·         ඡායාරූප අංක 06: අභියෝගාත්මක කඳු තරණ අභ්‍යාසයක නිරත වීමට පෙර උපකරණ සූදානම් කර ගැනීම (ඡායාරූපයේ උපකරණ: Water bladder, GPS tracker, Walkie talkie, camera) (ඡායාරූපය: දිලුම් දිසානායක)

 

No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...