Friday, May 8, 2020

ස්කෑන් ඇල්පයින් තොරතුරු ලිපි මාලාව අංක.1


එළිමහන් හා ත්‍රාසජනක ක්‍රීඩා සඳහා සුදුසු උපකරණ හා ආම්පන්න තෝරා ගැනීම


ආයුබෝවන්!!! සියළු දෙනාටම.

එළිමහන් ක්‍රීඩාවලට හුරු වෙලා ඉන්න අපි කාටත්, ඒ සියල්ලන්ගෙන් මිඳී තම තමන්ගේ නිවෙස් තුළ, අපේම ආරක්ෂාව වෙනුවෙන් සීමාවී සිටීමට සිඳු වූ තවත් සතියක් මෙසේ නිමා වෙනවා.

පසුගිය සතියේ පොරොන්දු වූ අයුරින් ම අපි අද ඔබ හමුවට පැමිණෙන්නේ ස්කෑන් ඇල්පයින් තොරතුරු ලිපි මාලාවේ පළමු ලිපියත් සමඟයි.

මෙම ලිපි මාලාව බොහොමත්ම සරල භාෂා විලාසයකින් ඔබ වෙත ගෙන ඒම අපේ අරමුණ වන අතරම නිසි සිංහල යෙඳුමක් නොමැති අවස්ථාවලදී සමහර වූ වචන ඉංග්‍රීසී භාෂාවෙන් ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
එමෙන්ම මෙම ලිපි මාලාවේ එන තොරතුරු සම්බන්ධයෙන් ඔබට වැඩි විස්තර දැන ගැනීමට වුවමනා නම් ඕනෑම මොහොතක අපගේ මුහුණු පොතට පණිවිඩයක් යොමු කරන්න.


Scan Alpine Newsletter equipment blog post


කූඩාරමක් (Tent), කඳු නඟින්න බෑග් එකක් (Backpack), කඳු නඟින්න දාන්න හොඳ බූට් දෙකක් (Hiking Boots), කැළේ ඇවිදින්න යනකොට අඳින්න ගන්න හොඳ පෙනුම තියෙන කළිසමක් (Hiking Trouser), මාලිමාවක් (Compass), කෑම්පින් කරන වෙලාවක පාවිචිචියට ගන්න හොඳ ළිපක් (Portable cooking stove).

අපි කවුරුත් ආසයි මේ වගේ ආම්පන්න, උපකරණ බොහොමයක හිමිකාරයෙක් වෙන්න.
අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ආස කරන, ඔබට උවමනා කරන මේ උපකරණ හෝ ආම්පන්න මිල දී ගැනීමේ දී සළකා බැලිය යුතු කාරණා කිහිපයක් සම්බන්ධයෙන්.

බොහොම සරල මාතෘකාවක්  වගේ පෙනුණත්, මෙ සම්බන්ධව නිසි අවධානයක් යොමු කිරීම මඟින් ඔබගේ පසුම්බියට වගේම, ආසාවෙන් කාලයක් බලාගෙන ඉඳලා යන්න පිටත් වෙන එළිමහන් චාරිකාව අතරතුර නොසිතන අකරතැබ්බි වලට මුහුණ දීමෙන් වළකින්න පුළුවන්.

1.       අවශ්‍යතාවය


විනෝදයේ කොටසක් වන්නේ ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගෙන යා යුතු දේ සොයා ගැනීමයි



මෙහි දී මූලිකව අවධානය යොමු කළයුතු කාරණා කිහිපයක් සරලව දක්වන්නට පුළුවන්.

·         ඔබ මිලදී ගන්නා ආම්පන්න ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාළගුණික හා දේශගුණික තත්වයන් පිළිබඳව සැලකිළිමත් වීම ඉතා වැදගත්.

·         ඔබට ඇත්තටම ඔබේ හිත රැඳුණු ඒ අලුත් ම මාදිලියේ  සපත්තු යුගලය වුවමනා ද? යම්කිසි ආම්පන්නයක සැබෑ වුවමනාව නිසි ලෙසින් හඳුනා ගැනීමෙන් නොවුවමනා දේ සඳහා වියපැහැදම් කිරීම වළක්වා ගත හැක. ඇතැම්විට ඒ මොහොතේ ඔබේ සැබෑ වුවමනාවට වඩා අලෙවිකරණ මෙවලමක ශක්තිමත්බව නිසාවෙන්, ඔබ එම මිල දී ගැනීම කරනවා වන්නට පුළුවන.

·         ඔබගේ අභ්යාසයේ සංකීර්ණ බව මෙන්ම කොපමණ වාරයක් පාවිච්චි කරනවාද යන්න අවබෝධ කර ගන්න. ඔබ මිල දී ගන්නට අදහස් කරන ඔබගේ නවතම ආම්පනන්නය කොපමණ වාරයක්, කොපමණ මට්ටමකට භාවිතා කරන්නට යෙදේ ද යන්න පිළිබඳව සිතා බලන්න. උදාහරණයකට වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක් අධික මිලකට හොඳම තත්වයේ කැමරාවක් මිල දී ගැනීම සහ මාස කිහිපයකට වරක්, කළාතුරකින් ඡායාරූප කිහිපයක් ගැනීමේ ආසාව යනු අන්තයන් දෙකක් බව පැහැඳිලිව වටහා ගන්න.

2.       ගුණාත්මක බව


Abstract from the website Matt Holland photography
හිම මත නිදා සිටින විට ඔබට දැනෙන සීතල, කිසිවක් සමඟ සැසඳිය නොහැක

    
භාණ්ඩයක ගුණාත්මක බව සැළකීමේ දී අපට උපයෝගී කර ගත හැකි සරල මිනුම් කිහිපයක් ගත හැක.
  •     සන්නාම නාමය (Brand Name)


හොඳ සන්නාම නාමයක මිල තරමක් ඉහළ අගයක පැවතිය හැකි නමුත් ඔබ අසීරුවන් උපයා ගන්නා මුදලට සාධාරණයක් බොහොමයක් අවස්ථාවල බලාපොරොත්තු විය හැක. මෙයට මූලිකම කාරණා ලෙස ජනප්‍රිය සන්නාම නාම යටතේ එන උපාංග ගුණාත්මක බව පිළිබඳව පරීක්ෂණ රාශියකට භාජනය කිරීමන් අනතුරුව වෙළඳ පළට නිකුත් කිරීම සහ ගුණාත්මක භාවයෙන් අඩු නිශ්පාදනයක් අලෙවිය මඟින් සිඳුවන ලාභයට වැඩියෙන් පාරිභෝගිකයා සන්තෘප්ත කිරීම මඟින් තම සන්නාම නාමය වෙතට පාරිභෝගික බැඳීම ඇති කර ගැනීමට ඔවුන්ගේ කැමැත්ත දැක්විය හැක.

නමුත් පාරිභෝගිකයයෙක් ලෙසින් සෑම අවස්ථාවක ම නිසි විමසිල්ලෙන් ඔබගේ භාණ්ඩා තෝරා ගැනීම කළයුතුය. එමෙන්ම ඉතා ප්‍රචලිත සන්නාම නාමයන්ගේ පවා ඇතැම් නිශ්පාදන ඉතාමත් ප්‍රචලිත හා සාර්ථක වන අතරම ඇතැම් නිශ්පාදන අසාර්ථක වේ.

3.       ජීවිත කාලය සඳහාම කරනු ලබන ආයෝජන

ඔබට සෑම විටම අභියෝගය තෝරා ගත නොහැකි, නමුත් ඔබට සෑම විටම නිවැරදි ආම්පන්න තෝරා ගත හැකිය - Bear Grylls


මෙම සමහර ආයෝජන ඔබ කිරීමට බලාපොරොත්තු වන්නේ ජීවිත කාලය පුරාවටම විය හැක. උදාහරණයක් ලෙසින් කූඩාරමක් දැක්විය හැක. හොඳින් වෙළඳපොළ අධ්‍යයනයක් කිරීම මඟින්, යම්කිසි වැඩි ආයෝජනයක් කිරීමෙන් වුවද හොඳ වර්ගයක කූඩරකමක් මිල දී ගැනීම බාල මට්ටමේ කූඩාරමක් සඳහා අවස්ථා කිහිපයක වියදම් කිරීමට වඩා ලබාදායකය.

4.       වෙළඳපොළ පරීක්ෂණය

වැරදි ලෙස පැළඳ සිටින හොඳ බෑගයක් තවදුරටත් හොඳ බෑගයක් නොවේ

ඕනෑම ආයෝජනයකට පෙරාතුව හොඳ අධ්‍යනයක් කිරීම ඉතාමත් වැදගත් වේ. ඔබ මිල දී ගැනීමට බලාපොරොත්තු වන දේ පිළිබඳව හොඳින් සොයා බලන්න. අන්තර්ජාලයේ ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් කියවා බලන්න. ඔබට පෙර එම මිල දී ගැනීම් කළ පුද්ගලයන් ගේ අදහස් ඔබට බෙහෙවින් උපකාරී වේවි. එමෙන්ම අත්දැකීම් හා ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ඇති අයගෙන් අවවාද ලබා ගන්න. නිශ්පාදන ආයතනය සෘජුව ඇමතීමෙන් ඔබ සතුව ඇති ගැටළු ඉදිරිපත් කර විසඳුම් ලබා ගන්න.

5.       බර




ඔබ එළිමහන් ක්‍රියාකාරක්ම වල දැනටමත් නියැලෙන්නෙක් නම් ඔබ සතුව ඇති සෑම උපකරණයක්ම උපරිම සැහැල්ලු ලෙසින් නිමවා තිබෙනු දැකීම ඔබගේ කැමැත්ත බව ඇත්තක්. එමෙන්ම පහසු ලෙසින් ඇසිරීමට හැකි වීමත් ඉතාමත් වැදගත්. එමඟින් පහසුවෙන් ඔබ නියැලෙන එළිමහන් ක්‍රියාකරමේ නියැළීමට හැකියාව ලැබේවී.

6.       මිල

භාණ්ඩයක මිල, ගුණාත්මක භාවය හා නිමාව යන කාරණා එකිනෙක සමඟින් බොහොම තදින් බැඳී තිබෙන බව ඇත්තක්. නමුත් පාරිභෝගිකයන් ලෙසින් අප සිහි තබා ගත යුතු කරුණක් නම්, මිලෙන් වැඩිම නිශ්පාදනය හොඳම නිශ්පාදන නොවන්නා සේම හැමවිටම මිල අඩුම නිශ්පාශනය බාල නිශ්පාදනයක් ලෙස හැඳින්විය නොහැකි බවයි. ඇතැම්විට අධික මිලෙන් යුතු ආනයනය කරනු ලබන නිශ්පාදනයකට සාපෙක්ෂව රටේ පවතින දේශගුණික තත්වයන් පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහිතව මෙරට තුළඳීම නිශ්පාදනය කරනු ලැබූ ආම්පන්නයක ගුණාත්මක බව වැඩි විය හැක.

7.       අලෙවියෙන් පසු සේවාව


ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම එම ආයතනය මඟින් ලබා දෙන අලෙවියෙන් පසු සේවාව පිළිබඳව විමසා සිටින්න. ඒ සඳහා වගකීම් සහතිකයක් ලබා ගන්න. එම වගකීම් සහතිකය සඳහා වලංගු වන  තත්වයන් අලෙවියට පෙර විමසා දැණුවත් වන්න. එම තත්වයන් පිළිබඳබ ඔබට සෑහීමකට පත්විය නොහැකිනම් ඒ පිළිබඳව ඔවුන් හා සාකච්ඡා කර වඩා හොඳ සේවා සහතියක් ලබා ගැනීමට උත්සාහා කරන්න.

8.       ඔබගේ භාණ්ඩ හා සේවා සපයන්නා

ඔබට හොඳම පාරිභෝගික සමාලෝචන නොමැති නම්, ඔබ ඔබේ නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතුය - Scan Alpine 


ඔබ මිලදී ගැනීම සිඳු කිරීමට බලාපොරොත්තුවන ආයතනය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ එම වෙළඳ සමාගමට පිය නැඟීමට පෙරාතුව ලබා ගෙන සිටීම ඔබට වාසි සහගත වේවි.

ව්‍යාපාරයක් ලෙසින් ඕනෑම ආයතනයක අරමුණු ලාබ උපයා ගැණීම වුවද ඇතැම් සමාගම් ඉන් ඔබ්බට යමින් තරුණ ක්‍රීඩකයන් ට ආකර්ෂණීය වට්ටම් ලබා දීම, පහසු ගෙවීමේ ක්‍රම සැළසීම වැනි පහසුකම් සැපයීම සිඳු කරනු ලබයි.එමෙන්ම ආනයනික භාණ්ඩ වල මිල සාපේක්ෂව ඉහළ අගයක් ගනු ලබන්නේ එම ආනයනික ක්‍රියාවලිය සඳහා ද එම ආයතන යම් වියදමක් දරනු ලබන නිසාවෙන්. 

අන්තර්ජාතික තත්ව සහතිකයන් ට අනුකූලව භාණ්ඩ දේශීයව නිශ්පාදනය කරනු ලබන ආයතන මඟින් වැඩි සහනයක් ඔබගේ පසුම්බිය ලබා ගත හැක.

නමුත් මතක තබා ගන්න. නිශ්පාදනයක මිල, ගුණාත්මක බව හා නිමාව එකිනෙකා හා තදින් බැඳි පවතින බව. නිසි සොයා බැලීමකින් තොරව කරනු ලබන මිලදී ගැනීමෙන් ඔබට කාලත්, මුදලත් මෙන්ම අමිහිරි මතකයන් ද උරුම විය හැකි බව.




එසේනම් ලබන සතියේ ත් ස්කෑන් ඇල්පයින් තොරතුරු ලිපි මාලාවේ තවත් ලිපියක් සමඟින් නැවත හමුවෙමු.

මෙම ව්‍යයසන කාලය තුළ නිවසේ රැඳෙන්න. සුරක්ෂිතව ඉන්න.






No comments:

Post a Comment

එවරස්ට් මූලික කඳවුර තරණය ගැන බහුලවම විමසන ප්‍රශ්න (FAQ)

  සුබ දවසක්!   Scan Alpine අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ එවරස්ට් මූලික කඳවුර තරණය සඳහා යොමු වන ක්‍රීඩකයන් විසින් බහුලව ම විමසන ප්‍රශ...